අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


රාග ද්වේෂ මෝහ නැමැති කෙලෙස් වලාවෙන් වැසී ගිය සිත් නිවී පහන්වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට....!

`````````````````````````````````````````````````````````````````````````````````````````````````````
හංසිව අමතක කරන්නෙ කොහොමද ඉතින්. ඔන්න ඒ නිසා එයා එවපු වෙසක් කාඩ් එකක්ම දැම්මා. ;)

Bookmark and Share


හුඟ කලෙකින් හමුවී
සෝ ලතැවුල් ...
අදත් විඳින්නේ මා පමනද ...?

මේ පාරත් නිවාඩුවට ගෙදර ආවම මට වෙනද වගේම ඔයාගෙ අම්මව මුණ ගැහුනා. විස්තර කතා කර කර ඉඳල අන්තිමට අපේ මාතෘකාව ආවෙ ඔයා ගැන.

" දැන් ඉතින් වැඩට යන්නෙත් නෑනෙ. කාවහරි හොයල බන්ඳලවත් දෙන්න ඕන....."

මගේ හදවත එක පාරටම නැවතුනා වගේ මට දැනුනා. හිනාවෙලා ඒක අහන් ඉන්න තරම් මට හයියක් තිබුනෙ නෑ. ඔයාගෙ අම්මටත් ඒක තේරුණාද කොහෙද. ඊට දවස් දෙක තුනකට පස්සෙ ඔයාලගෙ ගෙවල් පාරෙන් යන ගමන් ඔයාවත් නොබල යන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.

" එන්න ගෙට... "

ඔයාගෙ ආදරණීය ආරාධනාව කොහොම අහක දාන්නද ? මීට මාස දෙක තුනකට කලින් මාව මරාගෙන කන්න හදපු ඔයාම මට ගෙට එන්නත් කියනවා. මමනම් හිතුවෙ කොස්සකුත් අරන් දුවනකම් මට ගහයි කියල. එහෙම හිතුනට මම දන්නවා ඔයා මට එහෙම කරන්නෙ නැති බව.

ගොඩක් දවසකින් හම්බුන නිසා අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා.

" ඔයාට ඔලුව කැක්කුමයි ද ? "

තාමත් එහෙනම් ඔයාට මාව තේරුම් ගන්න පුළුවන්. මොකද මගෙ මේ කරුම ලෙඩේ ගැන අම්ම තාත්ත ඇරුනම හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ ඔයාට විතරක්ම උන නිසා.

" ඉන්න මම තෙල් ටිකක් දෙන්නම් ඔලුවට දා ගන්න.... "

" එපා.... "

" දාගන්නවා..."

" එපා කිව්වනෙ.. "

" ඉන්නවකො මම ගෙනත් දෙන්න.. "

මගේ හිත මටත් හොරෙන් අතීතයට දුවගෙන ගියා.....

එදත් මම මේ වගේම ඔලුව කැක්කුම හැදිල මේ වාඩිවෙලා ඉන්න පුටු පේලියෙම පුටුවක වාඩිවෙලා හිටිය මට මතකයි. එදත් ඔයා මේ විදිහටම මට බැන්න ඔලුවට තෙල් ටිකක් දා ගන්න කියල. ඊට පස්සෙ තෙල් බෝතලෙත් අරන් ආපු ඔයා නැවතුනෙ මගෙ ගාව.

" ඉන්නව දා ගන්න බැරිනම් මම දාන්නම්..."

ඔයා මගෙ ලඟට ඇවිත් මාව ඔයාගෙ පපුවට තුරුළු කරගෙන ආදරෙන් මගෙ ඔලුව අත ගාපු හැටි මට තාම මතකයි. පොඩි එකෙක් වගේ ඔයාගෙ පපුවට තුරුළු වෙලා ඒ සුවඳ විඳින්න මම තාම ආසයි. මට ඒ වෙලාවට දැනෙන්නෙ මම මගේ අම්මගෙ උණුහුමට වෙලා ඉන්නව වගේ හැඟීමක්. ඒ කිරි සුවඳ ඔයා ගාවත් තියෙනවා. ඔයා මට මේ තරම් ආදරයක්. මට හිතා ගන්නවත් බෑ. අන්තිමට තෙල් දාල ඉවරවෙන කොට ඔයාව මගෙ ඔලුවෙ තෙල් වලින් නෑවිලා.

" ආ... දාගන්න "

ඔයාගෙ හඬින් මම හීන ලෝකෙන් ඇහැරුණා

" ඉස්සරනම් ඔයා තෙල් බෝතලේ දීල නිකන් ඉන්නෙ නෑ. දාල අත ගානවත් එක්ක.... "

ඔයා අහිංසක විදිහට හිනා උනා විතරයි. අපිට ආයෙත් අතීතෙට යන්න ඉඩක් ඇත්තෙම නැද්ද ?

"කමක් නෑ එපා.... "

මට ගොඩක් දුක හිතුනා. ඔයාටත් ඒක තේරිලා වෙන්න ඇති. ආයෙ මට බල කරේ නෑ.

කතා නැතිව අපි දෙන්න ගොඩක් වෙලා හිටියා. ඒ කාලෙ පුරාවටම මම කලේ ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටපු එක.ඔයාගෙ ඇස් දෙකේ කියාගන්න බැරි මොනවදෝ හිර වෙලා තියෙනවා මම දැක්කා.

" ඔයාට අපෙ අම්මව හම්බුනාද ? "

" ඔව්.. අම්ම මොකෝ කිව්වෙ ගෙදර ඇවිත්... "

" මොකුත් නෑ ඉතින් ඔයාව හම්බුනා කිව්ව.. මාව කාව හරි හොයල බන්ඳලා දෙන්න ඕන කිව්වම ඔයාගෙ මූණ දෙක උනාලු... "

මම ඔයත් එක්ක හිනාවෙන්න උත්සහ කරා..

" අම්මට දුක හිතුනලු ඔයාගෙ මූණ දැක්කම. ඒ නිසාම ආයෙ ඒ ගැන මොකුත් කතා කරේ නෑ කිව්වා.... "

" ඇත්තටම එහෙම උනාද ඉසුරු..."

" වෙන්න ඇති...."

මම අහක බලාගෙනම ඔයාට උත්තර දුන්නා. ඔයාගෙ මූනෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියා.

" ඉසුරු සීයගෙ දානෙ ..... තියෙනවා. ඔයා එන්න. මට වෙන කරන්න දෙයක් නෑ ඉසුරු. මම අයියව කසාද බඳිනවා.... " (සිනාසෙන්න මට අවසර දෙනු මැන 3 කොටස බලන්න)

ගෙදර ගියාට පස්සෙ ඔයා මට ඒ විදිහට එස්.එම්.එස් එකක් එව්වා....

ඔයා ගැන මගෙ හිතේ තිබිච්ච බලාපොරොත්තු කඳුලු වල දියවෙලා ඇස් දෙකෙන් කඩාගෙන වැටුනා....

වැටෙන කඳුලු පිස ලන්නට
හිස අත ගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.....
දුක තියාන.....


එතනින් අපේ හමුවීම නැවතුනේ නෑ. අපි ආයෙත් අපිට ලං උනා. යාලුවො විදිහටද එහෙම නැත්නම් වෙන කවුරුහරි විදිහටද කියන්න මම දන්නෙ නෑ.

" මම ඔයාගෙන් පොඩි බඩ්ඩක් අහන්නද ...? "

ඒ වගෙ අපි හම්බෙච්ච දවසක මම ඔයාගෙන් ඇහුවා.

" හ්...ම් "

" ඔයා මීට මාස දෙක තුනකට කලින් මට කිව්වා නේද ඔයා අයිය කෙනෙක් එක්ක යාලුයි එකට ට්‍රේන් එකේ යන එක්කෙනෙක් එක්ක කියලා...."

" ඇත්තටම එහෙම එකක් තිබ්බෙ නෑ නේද ? "

" නෑ ඉසුරු. මම බොරු කිව්වේ.. "

" ඇයි එහෙනම් ඒ බොරුව පිටින් දාල මට බැන්නෙ... "

"මම එහෙම කරේ ඒකෙන්වත් ඔයා මට ආදරේ කරන එක නවත්තන්න හිතාගෙන....."

" ඔයා හිතනවද එහෙම කරා කියල මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවෙයි කියලා...."

මගේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් ඔයා ලඟ නැතිවෙන්න ඇති.

තවත් දවසක.....

" ඉසුරු අයියත් දානෙට එනවා. දන්නවනෙ ඔයා ඉතින්.. අනේ එයා මාත් එක්ක ඉන්නව දැකල හිත රිද්ද ගන්නෙපා..... "

ඔයා කියන්නෙ හරියට මම හිතල හිත රිද්දවගන්නව වගේ. කිසිම දෙයක් කියන්නෙ නැතිව මම ඔහේ බලාගෙන හිටියා.

" මම එන්නෙ නෑ බණ ගෙදර..."

" ඔයා එන්න.. ඔයා එන්නම ඕන. මම බලන් ඉන්නවා... "

" ඒ උනාට හරි නෑනෙ. ගමේ මිනිස්සු මොනවද නොහිතන්නෙ....."

" ඔයා නාවොත් තමා ගමේ අයට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ....."

" මට බෑ. මම එන්නෙ නෑ. සොරි තරහ වෙන්නෙපා... "

" අනේ එන්න. මට ආදරේනම් එන්න..."

එතනින් එහා ඔයා එක වචනයක් වත් කිව්වෙ නෑ. ඔයා දන්නව ගානට මාව හිර කරගන්න. තාමත් ඔයා එදා වගේමයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

බණ ගෙදරට දානෙ ගෙදරට මම ආවෙ හිතකින් නම් නෙමෙයි. ඔයා බලන් ඉන්න බව දන්න නිසා. ආ පයින්ම යන්න හදනකොට ඔයා කිසිදෙයක් කියන්නෙ නැතිව බලාගෙන උන්නා.

මීට අවුරුදු තුනකට විතර කලිනුත් ඔයාලගෙ ගෙදර මේ වගේම දානෙ ගෙයක් තිබුනා. එදා ඔයා අතින් බීම එකක් ගත්තෙ නෑ කියල ඔයා එක දිගට ඇඬුව දවස් දෙකක්ම. අතීතයේම ජීවත් වෙන්න තිබුණනම්....

අපේ අන්තිම හමුවීම.....

" මට ඔයා තවදුරටත් යාලුවෙක් විතරයි ඉසුරු....."

" අයියා මට ගොඩක් ආදරෙයි. ඉස්සර මොනදේ උනත් මම දැන් ඒ ආදරේට ආදරෙයි...."

" වහිනවා නේද ? ඉන්න මම ඔයාට මගෙ කුඩේ දෙන්නම්......"

" ඔයාට කොහොමද මම ආපහු දෙන්නෙ....."

" එපා ඒක ඔයා තියා ගන්න...."

මට ඔයාව තේරුම් ගන්න අමාරුයි. මීට ටික දවසකට කලින්....

" ඉසුරු ඔයාගෙ ෆෝන් එකේ මගේ ෆොටෝ තියාගෙන ඉන්නෙපා....."

" ඇයි...?"

" නෑ ඉතින් ඒව දැක්කම ඔයාට දුක හිතෙනවනෙ...."

එදා එහෙම කියපු ඔයා අද මට ඔයාගෙ කුඩේ තියා ගන්න කියනවා. ඔයා හරි පුදුමයි. ගොඩක් වෙනස් වෙලා. ඔයාට මාව යාලුවෙක් විතරක් උනාට මට කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතන්න බැරි වෙයි. ඔයා නොදන්නවත් ඇති ඔයාගෙන් මට නැති උනේ කෙල්ලෙක්ගෙ ආදරයක් විතරක් නෙමෙයි.මට නැති උනේ අම්ම කෙනෙක්ගෙ ආදරයක්. මට බෙහෙත් අරන් දෙන්න ඔය කකුල් දෙක රිදෙනකම් ඉස්පිරිතාලෙ පෝලිම් වල හිටගෙන හිටපුවා , ඔලුව කැක්කුම වෙලාවට මාව ඔඩොක්කුවෙ තියාගෙන ඔළුව අතගාපු හැටි , මා ගැන මටත් වඩා හොයල බලපු හැටි අමතක කරන්නනම් මට මැරිල උපදින්න වෙයි. මොනව උනත් මම ඔයාගෙ සතුට වෙනුවෙන් ඔයා කැමති ඕනම දෙයක් කරන්නම්. මොකද ඔයාගෙ සතුට දැකල මටත් කවදහරි සතුටුවෙන්න පුළුවන් නිසා. හැමදාම පැතුවෙ ඔයාගෙ සතුට විතරක්ම නිසා.

ඔබගේ යහපත දියුණුව සැලසේ නම්...
මගේ දිවිය හැර අනෙක් සියළු දේ
කැපකෙරුමට මා සූදානම්...

Bookmark and Share




අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ කිව්වෙ අපි ඒ ලෙවල් කරන කාලෙ වෙච්ච දෙයක්. දැන් ඔන්න ඒ ලෙවල් විභාගෙටත් ලඟයි. කරපු මෙලෝ වැඩකුත් නෑ. දැන් තමයි ඉතින් නැට්ට ගිනි අරන් තියෙන්නේ. මේ කියන දවස් වල මගෙ හිතෙත් මල් පිපිල. වෙන කා ගැනවත් නෙමෙයි ඉතින් හංසි ගැන තමා ඉතින්. ඒ කියන්නෙ පස්සෙන් යන කාලෙ. අපි දෙන්නම ෆිසික්ස් වලට ක්ලාස් ගියේ එකම සර් ලඟට. හැබැයි දවස් දෙකකට ගියේ. එයා සෙනසුරද මම ඉරිදා. දැන් එක්සෑම් එකට හොඳටම ලඟයි. සර්ට අපි ගැන දුක හිතිලද කොහෙද අපිට පුනරීකෂණ පංතියකුත් දැම්ම. හැබැයි ක්ලාස් එක තියෙන්නෙ රෑට. ඉතින් හංසිගෙ අම්ම හංසිව එවන්නෙ මම එනවනම් විතරයි. හංසිගෙ යාලුව එන්නෙ හංසි එනවනම් විතරයි. ඒ කියන්නෙ මම ක්ලාස් ගියෙ නැත්නම් තව දෙන්නෙක් එන්නෙ නෑ. මාත් ඉතින් ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්ව වගේ හැමදාම ක්ලාස් යනවා. අපේ සෙට් එකේ ගොඩක් හිටිය. අතුකෝරලයයි ගෝනයි තමා ඉතින් එකටම ඉන්න උන් දෙන්න. සර් කියන්නෙත් අපේ බොක්කෙ ෆිට් එක තමා ඉතින්.

ඔන්න දවසක් අපි ක්ලාස් ගියා. මායි හංසියි එකටමයි ක්ලාස් එකට ගියෙත්. ක්ලාස් තියෙන්නෙ සර්ගෙ ගෙදර. අපේ ක්ලාස් එකට කලින් තව ක්ලාස් එකක් තියෙනව පොඩි උන්ට. ඉතින් අපි දෙන්න එදා ටිකක් වේලාසන ක්ලාස් එකට ගියා. තව ලමයි වගේකුත් හිටියා. මායි හංසියි ඉතින් සර්ගෙ ගෙදරට යන පාරට වෙලා හිටිය. ගේ තියෙන්නෙ ටිකක් විතර වත්ත මැද්දට වෙන්න. ඔය යන පාරෙ තියෙනවා ඇහැල ගහක්. එදා ඉතින් මුළු ඇහැල ගහේම මල් පිපිල ගහම කහ පාටයි. දැක්කම ඕන කෙනෙක්ට ආස හිතෙනවා. ඉතින් ඒ නිසාමදෝ කොහෙද හංසි මට කිව්වා අනේ මලක් කඩල දෙන්නකෝ කියලා. මාත් ඉතින් ලස්සන මලක් හොයල කඩල දුන්නා. කඩල දීල අනික් පැත්ත හැරෙනකොටම මෙන්න සර් අපි දෙන්න දිහා පන්ති ඇවිල්ලා උන්නු අනික් සෙට් එකයි සර් රුයි බලා ගෙන ඉන්නවා. හංසිත් මගේ දිහා බලාගෙන හිටපු නිසා සර් එනව අපි දෙන්නම දැක්කෙ නෑ.සර් ඉතින් මා දිහා කිංඩියට වගේ හිනාවක් දාල ගියා. සර් හිතන්නෙ නැතුව ඇති මම හිමිජ්ජා වගේ ඉඳගෙන කෙල්ලෙක්ට බැහැල ඇති කියලා.

හංසිව හොඳටම බයවෙලා. මොකද හංසිගෙ අම්මව සර් අඳුනනවා. කොහොමින් කොහොම හරි ක්ලාස් එක පටන් ගත්තා. මායි ගෝනයි අතුකෝරලයයි පුරුදු විදිහටම අන්තිම පෙලියෙ. ඔන්න දැන් සර් ආවා. මා දිහා බැලුවා. හංසි දිහාත් බැලුවා.

" මෙහෙ එනව මේ ඉස්සරහ පේලියට එනවා මට තමුසෙත් එක්ක කතාවක් තියෙනවා... "

" නෑ සර් කමක් නෑ. පස්ස හොඳයි...."

" මෙහෙ එනවකෝ. මට තමුසෙට කතා කරන්න ඕන. "

" නෑ සර් හරි මම දන්නව සර් කියන්න හදන දේ "

මම ඔය අස්සෙ හොරෙන් හංසි දිහා බැලුවා. කෙල්ල හොඳටම බයවෙලා වගේ. මුළු පංතියම හිනාවෙවී බලන් ඉන්නවා. කෙල්ල බිම බලාගෙන ඇඹරෙනවා.

" මේ එනවා ඉස්සරහ පේලියෙ ඉඩ තියෙනවා....."

" නෑ සර් ඕනෙ නෑ. මෙතනට හොඳට බෝඩ් එක පේනවා "

සර් ආයෙ මුකුත් කියන්නෙ නැතුව පාඩම පටන් ගත්තා. හංසි හොඳටම බය වෙලා වගෙ. වෙනදටනම් පන්තියෙදි මා දිහා හොරෙන් බලනවා. අද ඒව මොකුත් නෑ. පංති ඉවරවෙච්ච ගමන් කෙල්ල කඩාගෙන බිඳගෙන පංතියෙන් එලියට ගියා. වෙනදටනම් දෙන්න එකටමයි එලියට යන්නෙ. සර් දැන් බලන් ඉන්නවා මම එනකම්.

" මෙහෙ එනවා.. "

මාත් ගියා සර් ලඟට.

සර් ඉතින් වෙන මොකුත් අහන්නෙ නැතුව විභාගෙ ගැන අහල මාව යැව්වා. හැබැයි සර් පස්සෙ දවසක මගෙන් එයා ගැන හැමදේම අහ ගත්තා. මම ක්ලාස් එකෙන් එලියට බැහැල බලනකොට හංසි නෑ. කෙල්ල විදගෙන පාරටම ගිහිල්ලා.

" මම හොඳට බය උනා ඉසුරු..."

" ඒ මොකටද ? "

" ඒ මොකටද කියන්නෙ. සර් ඔයාට ඉස්සරහට එන්න කියනකොට මම නම් හිතුව ආයෙ ක්ලාස් ඇවිත් ඉවරයි තමා කියල... "

" අයියෝ ඕව ගනන් ගන්නෙපා. සර් එහෙම කරන්නෙ නෑ..."

මෙයා විතරක් නෙමෙයි මාත් බයේ හිටියේ. මොනව හරි උනානම් පංති යෑම කෙසේ වෙතත් මෙයා මාත් එක්ක තරහ වෙන නිසා. මොකද එදා එයා ඒ ගහ යට ඉඳගෙනත් කිව්වෙ මට ආදරේ කරන්නෙපා ඉසුරු කියන වචන ටිකම නිසා.කොහොමින් කොහොමින් හරි මම කෙල්ලගෙ බය ඇරල එක්කගෙන ආවා.

අද මම පංතිය ගාවින් යනකොට මම දැක්කා එදා වගේම ඒ ගහේ කහ පාටට ගහම පිරෙන්න මල් පිරිල තියෙනවා. පංතියත් තාම එදා වගේමයි. ඒත් අද ඒ ගහ යට ඉඳගෙන මල් කඩපු අපි දෙන්න දෙතැනක.

Bookmark and Share

කොටින්ගෙන් මේ රට බේර ගන්න අපේ හමුදාව එක එක මෙහෙයුම් කරානෙ. රිවි රැස , නියතයි ජය ,  ජය සිකුරු ඔය වගෙ එක එක මෙහෙයුම් කරානෙ. ඒ වගේ කරපු තවත් මෙහෙයුමක් ගැන තමයි අද කියන්න යන්නෙ. ඔපරේෂන් නයි හාමි. හැබැයි මේක කරේ හමුදාවෙන් නෙමෙයි. අපෙ අම්මයි මායි. ඔන්න අහගන්නකො අම්මයි මායි ඔපරේෂන් නයි හාමි කරපු හැටි.
 

ඊයෙ රෑ තිස්සෙම වැහැල උදේ බලනකොට හතර වටේම වෙල් යට වෙලා. පාරෙ බසුත් වැඩ නෑ. අද ඉතින් දවසම නිදියන්න තමා වෙන්නෙ. ඔහොම හිත හිත ඉන්නකොට පුංචි පහේ උවමනාවක් ආව. මාත් ඉතින් වැස්ස ටිකක් ඉවරවෙනකම් ඉඳලා එලියට බැස්සෙ හාවෙක් එහෙම අල්ලන්න කියල හිතාගෙන. කට්ටිය දන්නවනෙ මොකාද මේ හාව කියල. ඉතින් නිදහසේ හාවා අල්ලගෙන යනකොට මම දැක්ක අපේ ගේ අයිනෙ ගොඩ ගහල තියෙන ගඩොල් ගොඩ අස්සට මොකෙක්දෝ රිංගනවා. මාත් ටිකක් ලං වෙලා බැලුවා. ම්ම්ම්හ් සර්පයෙක්. නැට්ට විතරයි පේන්නෙ. මං ඉතින් ගෙට දුවගෙන ඇවිත් අම්මට කිව්ව අම්මෙ අන්න ගල් ගොඩේ සර්පයෙක් කියලා.( බයට නෙමෙයි දුවගෙන ආවෙ හොඳද )
 

පස්සෙ අම්මයි මායි ගෙදර ජනේලෙකින් එබිල බැලුව. අප්පට සිරි පත නයෙක්. අඩි හතරක් විතර දිගයි. ඔලුවෙ 'ප' යන්නත් එහෙම තිබ්බ. හැබැයි අර අනික් අකුරනම් තිබ්බෙ නෑ ඕං. දැන් ඉතින් මොකද කරන්නෙ. කොහෙන්ද මේ තරම් තඩි සතෙක් ආවෙ. හරිනෙ. මේ ගංවතුරින් අනාත වෙච්ච එකෙක්. වෙල යට උනානෙ. මේකගෙ ගෙයත් යට වෙන්න ඇති. දැන් මූ මේ හොයන්නෙ ඉන්න තැනක්. නැත්නම් වතුර පාරට ගහගෙන ආවද දන්නෙ නෑ. අනේ පව්. ටී.වී එකෙත් කතා කරන්නෙ ගංවතුරෙන් අනාත වෙච්ච මිනිස්සු ගැන විතරයි. සත්තු ගැන බලන්න කවුරුත් නෑ. පව් කියල නයාව ගෙට ගන්නයැ. මේකට මොකද කරන්නෙ...?
 

මරන්නද ? අපෝ නයි මරන්න හොඳ නෑ. නයා වයිර බැඳ ගන්නවලු.  ඔයාලට හිතෙයි මොන බොරු කතාද කියල. මම දැක්ක මේ ලඟදි ලංකාවෙ සර්පයො ගැන ඉහලම දැනුමක් තියෙන මහාචාර්යතුමෙකුත් කියල තිබ්බ ඒ කතාව බොරුවක් එහෙම එකක් නෑ කියල. එයා ඒ ගැන කරපු පර්යේෂණයක් ගැනත් දාල තිබ්බ. ඒත් මං ඇත්තට දැකපු කතාවක් කියන්නම්. 

අපේ පැත්තෙ ඉන්නව දෙමල අය. වතු දෙමල අය තමා ඉන්නෙ. ඉතින් මේ දුප්පත් මිනිස්සුන්ව කිරිපිටි පැකට් එකට සල්ලි වලට ක්‍රිස්තියානීකරනය කිරීමේ වැඩ පිලිවෙලක් එක්තරා පල්ලියකින් කරගෙන ගියා. දැන්නම් ඉතින් මිනිස්සු මැදිහත් වෙලා ඒ වැඩේ නවත්තවලයි තියෙන්නෙ. ඔය විදිහට ආගමට හරවපු පවුල් වගයකට පල්ලියෙන් ඉඩමක් අරන් දීල ගෙවල් හදා ගන්නත් උදව් කරා. මේ මිනිස්සු ඉන්න හරිය ටිකක් කැලේ. හැබැයි සිංහල මිනිස්සුත් ඉන්නව. හැමෝම ඉතින් අව්ලක් නැතිව හිටිය. දවසක් මේ දෙමල අයගෙ ගෙවල් තියෙන ඉඩමෙ නයෙක් ඉඳල තියෙනව. ඉතින් එක කොල්ලෙක් මේ නයාව මරන්න හදද්දි අනික් මිනිස්සු කියල තියෙනව මරන්නෙපා ඕකට යන්න දෙන්න කියල. මේක කොහොමහරි මේ නයාව මැරුව. ටික දවසකට පස්සෙ මෙන්න ආයෙ නයෙක්. ඒ කොල්ල මේ නයාවත් මැරුව. ඔය විදිහට මේ කොල්ල නයි තුන් හතර දෙනෙක්වම මැරුව. මෙන්න ටික දවසක් යනකොට මේ ලමයට පිස්සු හැදිල දොඩවනව. මාව මරන්න නයෙක් එනවා ගා ගෙන ගම පුරාම දුවනව. එක තප්පරයක් ගෙදර ඉන්නෙ නෑ. නයි මාව එලෝනවා ගාගෙන දුවනව. ඉස්සර චන්ඩියා වගේ සත්තු මරපු එකා දැන් මරු විකල්ලෙන් දොඩවනවා. අන්තිමේ කොහොමහරි ගෙදර මිදුලෙදිම නයෙක් දෂ්ඨ කරල මේ යකා මැරුන. ඔය වගේ සිද්ධි ගනනාවක් අපේ පැත්තෙනම් වෙලා තියෙනවා.

නයෙක් මැරුවොත් නයා හත් පාරක් එනවලු පලි ගන්න. කොහොමහරි අන්තිමට ඒ මිනිහ මැරෙන්නෙත් නයෙක් ගහලලු. ලේ මාපිලත් එහෙමනෙ. ලේ බොන්න ලේ මාපිල්ලො හත් දෙනෙක් එනවලු. එකෙක් අනික් එකාගෙ නැට්ට හපාගෙන ලේ බොනවලු. ඔය විදිහට මාපිල්ලො පෝලිමට ඉඳගෙන ලේ බොනවලු. මමනම් දැකල නෑ. ඕව බොරුයි කියල අහක දාන්නත් අපිට බෑනෙ ඉතින්.
 

දැන් ඉතින් මේ කතා පැත්තක තියල නයාව එලව ගන්න ඕනෙ. අපේ ගෙදර තියෙනව පොඩි ගබඩා කාමරයක්. ඒකෙ මීයො හාරපු ගුලක් එහෙමත් තියෙනවා. මෙන්න මූ ඒක අස්සට රිංගන්නයි හදන්නෙ. මීයන්ගෙ ඉව වැටිල වගේ. මූ මේක ඇතුලට රිංගුවයි කියන්නෙ අද ගෙදර ඉඳලත් හමාරයි. දැන් මොකද කරන්නෙ. හරි මට ආව අදහසක්. නයාට භූමිතෙල් විසයි. මම ටක් ගාල අනෙක් පැත්තෙ දොරෙන් ගබඩා කාමරේ දොර ඇරල භූමිතෙල් ගහල වැදුනද නැද්ද කියල බලන්නෙවත් නැතුවම දොර වහ ගත්ත. කොහොමින් කොහොම හරි නයා ආපු පාරෙන්ම මාරු වෙනව අම්ම දැකල තිබ්බ.
 

 මටනම් හිතුනෙම මේක ගාව මැණිකක් ඇති කියලමයි. ෆෝන් එකට රීලෝඩ් එකක්වත් දාගන්න සල්ලි නැතුව ඉන්න වෙලේ කොහොමද මැනිකක් හම්බුනොත්. ගොඩේ ගොඩ. ඒත් ඉතින් මේ යකාගෙන් අහන්නයැ මැනික ගෙනාවද කියල. නයාත් ඔහොම හිටියට හරි වැඩ කාරය. නයා ඔය මැනික තියාගෙන ඉන්නෙ හක්කෙ කියල කියනවනෙ. මූ රෑට ඒ මැනික බිමින් තියල ඒකෙ එලියට එන සත්තුන්ව අල්ලගෙන කනවලු. ඔය මැණික ගන්නත් පොඩි වැඩ කෑල්ලක් දාන්න ඕන්. නයා සාමාන්‍යයෙන් ඉන්නෙ තුඹස් වලනෙ. ඉතින් නයා පොඩ්ඩක් එලියට පහලියට බහිනකම් ඉඳල මිනිස්සු කරන්නෙ බිත්තරයක් ඔතනින් තියල මිනිහෙක් ගොම තැම්බකුත් අරගෙන ලඟ තියෙන ගහකට නැගල රැකගෙන ඉන්නවලු. නයා ඉතින් ආපහු ආවම බිත්තරේ දැකල මැණික බිමින් තියල බිත්තරේ ගිලිනවලු. නිකං හම්බෙන බිත්තරේනෙ. නයත් ඉතින් ගහල අරිනව ඇති. හොඳට නරකට දෙකට කටමය කියන්නෙ මෙන්න මේවට තමයි. නයා මැණික බිම තියනකොටම අර උඩ ඉන්න මිනිහ කරන්නෙ අතේ තියෙන ගොම ටික අර මැණික වැහෙන්න විසි කරන එකලු. නයාට ගොම විසයිනෙ. ඉතින් නයා අන්තිමට මැණික ගන්න බැරිව පෙනේ පොලොවෙ ගහල පෙනේ කඩාගෙන මැරෙනවලු.

මට මේක කියද්දි පරණ කතාවක් මතක් වෙනවා. මේක උනේ ජේ. ආර් ගෙ කාලෙ. ඒ කාලෙ ලෝකෙ ලොකුම නිල් මැනික තිබිල තියෙන්නෙ ලංකාවෙ. වටිනාකම මිල කරන්න බෑලු. කොහොමහරි මේ මැනික එංගලන්තෙ තිබ්බ මැණික් ප්‍රදර්ශනේකට යවල තියෙනවා. මැණික තිබ්බ වීදුරු කුටිය ඇතුලට උග්‍ර විෂ තියෙන නයෙක්ව එහෙමත් දාල තියෙනව මැණිකෙ ආරක්ෂාවට. සාමාන්‍යයෙන් මැනික් ප්‍රදර්ශනවලදි කරන දෙයක්නෙ ඕක. මෙන්න බොලේ එක දවසක් බලනකොට මැනික නෑලු. කොහොමද වැඩේ.
 

ඔන්න කෙල්ලනේ කොල්ලො කියයි මැණිකක් රකිනා නා රජිදෙකු මෙන් නිරතුරු මා ඔබ රකිමී කියල. අහුවෙන්නෙපා ඕවට. කන්න මැණික බිම තියනවා. මම ඒ කිව්වෙ මොහිදීන් බෙග් මහත්මයාගේ ගීතයක කොටසක්. හැබැයි ඔන්න ඕගොල්ලො මැනික් ගන්න හිතාගෙන නයි අල්ලන්න යන්නෙපා. හැම නයා ගාවම මැණික් නෑ හොඳද.

කොහෙද මේ මැණික නිසා කියාගෙන ආව කාරනෙත් අමතක උනා. දැන් නයා මිසින්ග්. මේකව කොහොමහරි හොයා ගන්න ඕන. නැත්නම් මල ජංජාලයක් තමා වෙන්නෙ. ඔන්න ඉතින් අම්මයි මායි මිෂන් එක කන්ටිනිව් කරන්න පටන් ගත්ත. අම්ම තමා පෙරමුණේ රාල. මම අම්මට පස්සෙන් ගාඩ් එක දාගෙන ගියා. ඔය ගිය පාරෙ ආයෙම තියෙනව ගල් ගොඩක්. අම්ම ගියා ඊලඟට මම. මම ගල්ගොඩ පහුකරා විතරයි මෙන්න බොලේ ඔලුවක් පේනව. හත්තිලව්වයි නයා. මාව බය උනා අම්බානෙට. වෙලාවට මූ නයෙක් උනේ. පොලඟෙක් එහෙම උනානම් තාම මාව කනවා.
 

ඇත්තටම නයා කියන්නෙ ගොඩක් හොඳ සතෙක්. නයා කොහොමත් බුද්දිමත් සතෙක් කියලනෙ පිලිගන්නෙ. අපෙ ආච්චිලනම් ඉස්සර නයෙක් වත්තට ආවම නයි හාමි යන්න. මෙහෙ පොඩි ලමයි ඉන්නවා. අපිට කරදර කරන්නෙපා කියල නයාට කියනවලු. නයාත් ඉතින් ඒක අහගෙන ඉඳල උගෙ පාඩුවෙ යන්න යනවලු. නයා කෙනෙකුට දෂ්ඨ කරන්නෙ බැරිම උනොත් විතරයි. අනෙක් හැම වෙලේම නයා බලන්නෙ මිනිහව මග අරින්නමලු. මිනිහෙක්ට වැරදිලා හරි නයෙක් පෑගුනාම නයා එක පාරටම දෂ්ඨ කරන්නෙ නැතිව ඉස්සිල පාගපු එකාගෙ මූණ බලනවලු. පාගපු එකා අන්ධයෙක්ද කියල දැන ගන්න. ඒ තරම් හොඳ සතෙක් තමා නයා කියන්නෙ.

නයා පොලඟත් එක්ක වයිර බැඳගත්තෙත් ලමයෙක් හින්දනෙ. එක නියං කාලයක් ආවලු කැලේ ඔක්කොම වතුර හිඳිල ගියාලු. ඉතින් තිබහ ඉවසගන්න බැරුව හේහත් උන නයෙක් ගමේ ගෙදරක පිලිකන්නෙ පැත්තට ඇදීගෙන ආවලු. එනකොට පොඩි එකෙක් වතුර බේසමක බැහැල පොල්කට්ටකුත් අරගෙන සෙල්ලම් කර කර ඉන්නවලු. වෙන කවුරුවත්ම පේන්න නැති පාර නයා බේසමට ඔලුව දාල වතුර බොන්න ගත්තලු. පොඩි එකා මේක දැකල සෙල්ලමට වගේ නයාගෙ ඔලුවටම දීල ඇරියලු පොල් කට්ටෙන් . මොනව කරන්නද පොඩි එකෙක් සෙල්ලමට කරපු දෙයක්නෙ.  නයා ඕක ගනන් ගන්නෙ නැතුව වතුර ටික බීල පාඩුවෙ ආවලු. එනකොට නයාට මගදි හම්බුනාලු පොලොං තඩියෙක්ව. පොලඟ දැන ගත්තලු නයාටනම් වතුර හම්බෙලා කියල. නයාගෙන් ඇහුවට නයා කිව්වෙම නෑලු මේක පොඩි එකාට කරදරයක් කරයි කියල. අන්තිමේ පොලඟගෙ පෙරෙත්ත කිරීමට නයා පොඩි එකාට කරදරයක් නොකරනවයි කියන පොරොන්දුව උඩ පොලඟට පොට් එක කිව්වලු. කොහොම උනත් නයාට පොලඟව ෂුවර් එකක් තිබිලම නෑ. නයත් පොලඟ පස්සෙන් ඇවිත් හැංගිලා බලන් හිටියලු මොකද වෙන්නෙ කියල. පොඩි එකත් ඉතින් ඉස්සෙල්ල වගේම පොලඟටත් හොඳවයින් එකක් දීල ඇරල තියෙනවා. මල පැනපු පොලඟ පොඩි එකාටත් ෂොට් එක දීල ඇරියලු. වැඩේ බලන් හිටපු නයා දුවගෙන ඇවිත් පොඩි එකාගෙ විෂ උරල ඉවරවෙලා පොලඟව මරල දැම්මලු. එද ඉඳන් තමයි ඔය නයි පොලොං වයිරෙ ඇතිවෙලා තියෙන්නෙ.
 

මටනම් දැන් එලියට බහින්නත් බයයි. මේ නයාව දැක්කත් කලන්තෙ හැදෙනවා. මම අම්මවත් ඇදගෙන ගෙට ආව. නයාට උගෙ පඩුවෙ යන්න ඇරල. කොහොමින් කොහොම හරි අන්තිමට මිෂන් ෆේල්. පස්සෙ බලනකොට නයා නෑ. ඌ ඔය කොහෙට හරි ඇදිල යන්න ඇති. මොකද නයා එහෙම තැන් තැන් වල ඉන්න සතෙක් නෙමෙයිනෙ. ඔන්න ඔහොමයි ඔපරේෂන් නයි හාමි වැඩේ සිද්ධ උනේ. අසාර්ථක මෙහෙයුමක් කියන්නත් බෑ. අපිට ඕන උනේ නයාව එලව ගන්නනේ. අන්තිමට ඌම යන්න ගිහින්. නයි ගැන කියනවනම් ඉතින් ඇති තරම් කතා තියෙනව.ඔය බබාල හම්බෙන්න ඉන්න අය හීනෙන් නයි දකින එක හොඳයි කියනවනෙ. එතකොට අනිවාර්යෙන් හම්බෙන්නෙ කොලු පැටියෙක්ලු. අනේ මංද ඕව ඉතින්. කාට හරි හිතෙනවද දන්නෙ නෑ මම මේ නයි අරිනව කියල.


මොනව උනත් මේක බලන අය වැරදියට හිතන්නෙපා මම  නයින්ට බයයි කියල. බයට නෙමෙයි ගෙට ඇවිත් දොර වහ ගත්තෙ. වහිනවනෙ. මට තෙමෙන්න හොඳ නෑ. ඒකයි

Bookmark and Share

දිනය : 2010.05.05

ස්ථානය : මතුගම කොළඹ බස් රථයක්

බස් රථයට අතරමගින් අත දරුවෙකුද වඩා ගෙන මවක් ගොඩවූවාය. ඈ අත හුන් දරුවා මද සිනහවක්ද මුවේ රඳවා ගෙන තද නින්දට වැටී සිටියේය. බසයේ හුන් හැමෝගේම නෙත් මේ හුරතල දරු පැටවා වෙත යොමුවී තිබුනෙය. එහෙත් මවගේ නෙතඟ රැදී තිබුනේ කඳුළු කැටය. ඇගේ කතාව ඈ පැවසූ පරිදි මෙසේ සඳහන් කරන්නම්.......

" මගේ ගම ( ඇය හැටන් ප්‍රදේශයේ ගමක් සඳහන් කරයි ) මම බැඳල ඉන්නෙ මෙහෙට. මහත්තයා වැඩ කරන්නෙ හමුදාවෙ. එයා තමා පවුලෙ එකම දරුවා. එයා මට ගොඩක් ආදරෙයි. ඒත් එයාගෙ අම්මට මාව පෙන්නන්න බෑ. මහත්තය ඉන්න තැන මොකුත් කියන්න නෑ. ඒත් මහත්තය නැති වෙලාවට මාව පට්ට ගහනවා. මහත්තයටත් කරන්න දෙයක් නෑ. එයා වෙනම පදිංචියට යන්න කැමතිත් නෑ. අම්ම තනිවෙනව කියල. මම බැරිම තැන තමයි බබාවත් අරන් ගෙදර යන්නෙ. මට පුළුවන්නම් කොළඹ බහින්න ඕන කොතනින්ද කියනවද ? " ඇය පැවසුවේ හැඬු කඳුලිනි.

ඇගේ මෙම තීරණය එක් අතකින් බලන කල කිසිසේත්ම අනුමත කල නොහැක්කකි. යන එන මග හසර හරි හැටි නොදැන ඇය බැස ඇත්තේ සමාජ සුරක්ෂිතතාව 100% ක්ව ඇති සමාජයකට නොව. ඇයට අනුකම්පා කරන්නන් ඕන තරම් සිටිය හැක. එහෙත් ඒ අනුකම්පාව භූමිකම්පාවක් බවට පත් නොවනු ඇතැයි අපට සිතිය නොහැක. එහෙත් තවත් පසෙලින් බලන කල ඇයගේ තීරණය හරි යයි පැවසීමටද අපට පුලුවන. දරුවකු අළුත උපන් පසු කාන්තාවක තුල විශාල මානසික පරිවර්තනයක් සිදුවේ. ඇතැන් මව්වරුන් මෙම තත්වය උඩ සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹුන අවස්ථා අපට සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ. එසේනම් මෙවන් තත්වයක් තුල නිවැසියනේ වගකීම යුතුකම වන්නේ ඇයට මානසික ශක්තියක් වීම නොවේද ? එහෙත් මෙම මවට එවන් සහනයක් ලැබුනාද යන්න සැක සහිතය. 


නැන්දම්මා ඇය හා නිතර රණ්ඩු සරුවල් කරන්නේ දෑවැද්ද පිලිබඳ විමසමින් බව ඇය පැවසීය. තමාට සිටින්නේත් එකම දරුවා නම් ඉන්න හිටින්න ගෙයක් දොරක් තිබේනම් කවදා හෝ එහි උරුමයත් තම පුතාටම නම් මේ නැද්දම්මා තම ලේලියගෙන් තවත් දෑවැද්දක් බලාපොරොත්තු වන්නේ කුමකටද ? අනෙක් කරුණ නම් මවක් තුල වයසින් මුහුකුරා යත්ම මවුවත් ගුණයද වැඩිවිය යුතු නොවේද ? මා දන්නා එක්තරා ආච්චි කෙනෙකු සිටී. මුලු ගමම ඒ ආච්චිට ආදරේ කරති. ඈට මුලු ගමේම දරුවන් ඇගේම දරුවන් මෙනි. ගමේ ඕනෑම කෙනෙකු ඇගේ නිවස අසලින් යන විට ඈ හා වචනයක් හෝ දොඩමලු වී යන්නේ ඇය ඒ තරමටම ගමේ ආදරය දිනා ගෙන ඇති බැවිනි. එහෙත් මේ නැන්දම්මා තම ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වූවා යැයි අපට සිතිය නොහැකිය.

සමහර විට මේ නැන්දම්මාත් ලේලියක වී සිටි කාලයේ තම නැන්දම්මාගේ උදහසට ලක්වූ අයෙකු විය හැක. එසේනම් ඇය එවන් තත්වයක් තුල තමා කොතරම් මානසික පීඩාවට ලක්වූවාද යන්න, නැන්දම්මා යන චරිතයට තමන් කොතරම් ද්වේෂ කරාද යන්න හොඳ හැටි දන්නවා ඇත. එසේනම් ඇය නැන්දම්මා කෙනෙකු වූ කල තම ලේලියත් එවන් මානසික පීඩනයකට ලක් කල යුතුද ? තම ලේලියගේ ද්වේෂයට පාත්‍ර විය යුතුද ? තම එකම පුතණුවන්ගේ පවුල් ජීවිතය විනාශ කල යුතුද ?

මේ වෙනස් වීමට කාලයයි. නැන්දම්මා ලේලි අර්බුදය අතීතයේ සිටම මේ සමාජයේ දක්නට ලැබෙන්නකි. එහෙත් එය සම්ප්‍රදායක් ලෙස සැලකිය නොහැක. මක් නිසාද තම දූවරුන්ට වඩා තම ලේලියට ආදරේ කරන මවුවරුන් මේ සමාජයේ දක්නට ලැබෙන නිසාය. සැබැවින්ම සිදුවිය යුත්තේ එය නොවේද ? අම්මා කෙනෙකු ලෙස ජීවිතයේ අවසාන කාලය තුල ඇය සිදුකල යුත්තේ ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වී තමන් අදහන ආගම දහම අනුව පරලොවට වැඩක් කර ගැනීම නොවෙද ? සම්ප්‍රදායට අප ගරු කල යුතුය. එහෙත් සම්ප්‍රදාය හානියක් නොවන පරිදි නව ලොවට ගැලපෙන පරිදි වෙනස් කල යුතුය.

මේ ප්‍රශ්නයේදී තවත් පුදුම සහගත කරුණක් ඇත. ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි. අම්මා කෙනෙකු විසින් පීඩාවට පත් කරණු ලබන්නේ තවත් අම්මා කෙනෙකි. ගැහැණියකට තවත් ගැහැණියක , මවකට තවත් මවකගේ දුක නොදැනීම පුදුමයකි. සැමියා බිරිඳ , නැන්දම්මා ලේලිය මේ අර්බුද වල අවසානය බොහෝ විට කෙලවර වන්නේ පවුලක් දෙකඩ වීමෙනි. අවසානයේ දුක් විඳින්නේ , මව් සෙනෙහස නැතහොත් පිය සෙනෙහස අහිමි වන්නේ මේ ලෝකයේ අනාගතය භාර ගැනිමට සිටින හය හතර නොදන්නා කිරි සප්පයන්ගේ නොවේද ?

Bookmark and Share



අබ මල් රේනුවක් තරම්
මා ගැන සෙනෙහේ තිබුනා නම්
අද මේ විලස මට දුකක්
නුඹ මට දෙයිද රත්තරන්

පුන් සඳ තරම් නැති උවත්
අටවක සඳ තරම් වත්
නුඹ මට එලිය උනා නම්
නුඹ මට එලිය උනා නම්

සාගරේ තරම් නැති උවත්
තණ අග පිනි බිඳුව තරම්වත්
නුඹ මට සිසිල උනා නම්
නුඹ මට සිසිල උනා නම්......



ගායනය සුදම් චාමර.....

ගීතය මෙතනින් භාගත කර ගන්න




Bookmark and Share
Related Posts with Thumbnails