සිතක වෙහෙස.....
Sunday, August 28, 2011
".... මා පෙම් කළ තැනැත්තිය මට විවාහ කර ගැනීමට නොහැකි විය. මම තවමත් ඇය ගැන සිතමි. තැවෙමි. මගේ ජීවිතයේ ඛේදය එනිසාද ?..."
මා පෙම් කළ තැනැත්තිය මට විවාහ කර ගැනීමට හැකි විය. මම දැන් මගේ විවාහය ගැන සිතමි. තැවෙමි. මගේ ජීවිතයේ ඛේදය එනිසාද ?..."
" දැඩි වෙහෙස හෝ පීඩනය යටතේ සිටියද, ගැහැණියට සිය සැමියා සමග කතා කරමින් යම් කාලයක් ගෙවා දැමීමට අවශ්‍ය වේ. නමුත් සැමියා එය දකින්නේ ඔහුගේ නිදහසට බාධා කිරීමක් ලෙසය. ගැහැණියට පෙනෙන අන්දමට ඔහු ආදරය නැත. තමන්ට ඇල්මක් හා කැමැත්තක් නොදක්වයි. මිනිසාට පෙනන අන්දමට ඇය ඔහුගේ කෝපය අවුස්සයි. නිදහසට බාධා කරයි. එනිසා බොහෝ කාන්තාවන් ඉතා සුළු දෙයින් තැවෙයි. මේ වැටහීම් ඔවුන්ගේ මොලයේ විවිධ සංවිධානය වීම් හා ප්‍රමුඛතාවයන්ගේ ප්‍රතිබිම්භයන් ය..."
" සරත් විජේසූරිය " මහතාගේ " සිතක වෙහෙස " පොතේ මෙවන් වූ අන් අත්දැකීම් රාශියක් ගෙන හැර දක්වා ඇත. මෙහි අන්තර්ගතව ඇත්තේ විවාහක පිරිමින්ගේ පවුල් ජීවිත අත්දැකීම්ය. සමහරකට දැන් ජීවිතය වැරදී අවසානය. ජීවිතයට පාඩමක් ඉගෙන ගන්නට තමන්ටම අත්දැකීම් ලබා ගැනීම අත්‍යාවශ්‍ය නැත. අනුන්ගේ අත්දැකීම් වලිනුත් අපේ ජීවිතයට අත්දැකීම් ලබා ගන්නට පුළුවන් බව මට සිතෙන ආකාරයයි.
" කවරෙකු වුව අනවශ්‍ය ලෙස තමන් ගැන අධි තක්සේරුවක රැඳී නොසිට , අහංකාර නොවී , මමත්වයෙන් මඬනා ලද්දෙකු නොවී , නම්‍යශීලී වන්නේ නම් ජීවිතයට අවැසි , ජීවිතයෙන් ගිලිහුණු කවර දෙයක් වුවද යලි තමන් සන්තක කර ගත හැකි බව කිව යුතුය...."
" ලිංගික අධ්‍යාපනය යන්න අපේ ගුරුවරු වැඩිහිටියන් තැති ගන්න මාතෘකාවකි. අනවශ්‍ය සදාචාරයක් හිස මත තබා ගත් යුතු නැත. අවිද්‍යාවෙන් අඳුරකට තල්ලු වී යාමට වඩා විද්‍යාත්මක අවබෝධයකින් නිසි මගට අවතීර්ණ වීම වැදගත්ය...."
" වර්තමාන තරුණයෙකු හා තරුණියක අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වුණ මුල් වකවානුව තුල සිදුවන එක් දෙයක් නම් දෙදෙනාගේම ජංගම දුරකථන බිල විශාල වශයෙන් ඉහල යාමයි, නැතහොත් විශාල වශයෙන් කාඩ් පත් මිලට ගෙන තිබීමයි..."
ජීවිතයේ ප්‍රශ්ණ තියෙන්නෙ මට විතරද ? ගොඩක් වෙලාවට අපිට එහෙම හිතනවා. ඒත් ප්‍රශ්ණ තියෙන එකම පුද්ගලය මම නෙමෙයි කියන එක දැන ගන්න එයාලගෙ ජීවිත වලට එබිල බැලුවම අපිට තේරෙයි. සමහර විට එයාලගෙ ප්‍රශ්ණ දැක්කම මට තියෙන ඒව ප්‍රශ්ණ ද කියලත් හිතෙන්න පුළුවන්.
" මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
දෙපා නොමැති ඔබ දකින තුරා..."
විවේක වෙලාවක කියවන්න හම්බුන පොතක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා හදා ගන්න මට හිතුනෙ අන්න ඒ නිසයි.ඉතින් පුළුවන්නම් මිලදී අරගෙන බලන්න , නැත්නම් පුස්තකාලයකින් අරගෙන බලන්න. බොලඳ නව කතාවක් කියවනවට වඩා පොලවෙ පය ගහල ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිල ඇත්ත කොයි තරම් තිත්ත ද කියල පොඩ්ඩක් බලන්න.

Filed Under :






