අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

ඉතින් කොහොමද ? ගොඩ දවසකින් මේ පැත්තට එන්න බැරි උනානෙ. සුදු මහත්තයට කැම්පස් පටන් ගත්තනෙ. සුදු මහත්තයා දැන් ඉන්නෙ රජරට. ඒ කියන්නෙ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ. ඉතින් ඒකයි මේ ටිකේ මේ පැත්තෙ එන්න බැරි උනේ. දන්නවනෙ ඉතින් කැම්පස් ගිය අලුත. මගෙ ආදර කතාව බලපු ගොඩ දෙනෙක් හැමදාම අහන දෙයක් තමයි කවදද දෙවෙනි කොටස දාන්නෙ කියන එක.


ඉතින් ඔන්න මම ගෙදර ආපු ගමන් කලේ ඔයාල වෙනුවෙන් දෙවෙනි කොටස ලියපු එක. ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන් ඒකෙ දෙවෙනි කොටසත් බලලම යන්න. ඒක පරක්කු උනාට මට බනින්නත් ඇති නේද ? සමහර විට අපේ ගෙදර අයත් බැනුම් අහන්න ඇති. මොනව කරන්නද ? සුදු මහත්තයා හිතල කරපු දෙයක් නෙමෙයි නෙ.


ඔන්න බ්ලොග් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් කරා. අළුත් ටෙම්ප්ලේට් එකකුත් හයි කරා. දැන්නම් ඉතින් හිතට පුංචි සැහැල්ලුවකුත් දැනෙනවා . මොකද ඉතින් පොරොන්දුව ඉටු කරගන්න පුළුවන් උනානෙ. සඳුදා වෙනකොට තුන්වෙනි කොටසත් දෙන්නම්කෝ.

Bookmark and Share

ඇගේ ආදරය ලැබීමත් සමගම ජීවිතය නව මගකට යොමු වූවා වැනිය.ඇය දිනෙන් දින ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය. අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් , හීනයක් නොතිබූ මා ඈ නිසා ජීවිතය ගැන අනාගතය ගැන හීන දැකීමට පුරුදු උනෙමි.

" ඉසුරු .... "

" හ් .. ම්...ම් "

" මම ඔයාට සුදු මහත්තයා කියන්නද ? "

" ඒ ඇයි ? "

" ආ...දරේටනෙ මෝඩයෝ ... "

" එතකොට මම ඔයාට මොකක්ද කියන්නේ.... "

" ඔයා කැමති එකක් කියන්න "

" හ්ම්.. එහෙනම් ඔයා සුදු මැණිකෙ හොඳයිද ? "

" ඒක ඔයාගෙ කැමැත්තක් ... "

කෙමෙන් කෙමෙන් උසස් පෙළ විභාගයට දින ලං වෙන්නට විය. මගේ පාඩම් වැඩ ගැන මට වඩා උනන්දු වූයේ ඈය. සෑම දිනකම පාන්දර 5ට ඇහෙරෙන ඇය ඒ වෙලාවට මාවත් අවදි කරවයි. විභාගය පටන් ගත් පලමු දිනයේම ඈ මා හමුවීමට පැමිනියේය.

" ඉසුරු මේ ටික තියාගන්න එක්සෑම් ලියන්න "

ඈ මා හට පෑනක් , පැන්සලයක් , මකනයක් හා පැන්සල් උල් කරනයක් තෑගි කලාය. පෑන හැරෙන්නට අනෙකුත් සියළු දෑ තවමත් මගේ අල්මාරියේ සුරැකිව ඇත.

" අපිට දැන් ඉස්සර වගේ හැමදාම හම්බෙන්න බැරිවෙයි .... "

" ඔයා එහෙනම් මට ලියුම් ලියන්න.මාත් ඔයාට එවන්නම් .... "

මෙලෙසින් අප අතර ලියුම් ගණුදෙනු කිරීම ආරම්භ විය. පංති යන කාලයේ මෙන් නිතරම හමුවීමට අවස්ථාවක් නොලද බැවින් දින දෙක තුනකට වතාවක් ලැබෙන ලියුම අප අතර ආදරය වර්ධනය කිරීමට සමත් විය. මේ අතර දිනක්.....

" ඉසුරු අපි කොහේ හරි යමුද දවසක "

" කොහෙද ? "

" කොහෙ හරි.. ඔයයි මමයි විතරක් ඉන්න තැනකට ... "

" කොහෙද ඉතින් එහෙම තැනක් තියෙන්නෙ .... "

" අනේ ඔයා හිතන්නකො. ඔයා ඉතින් මට වඩා දන්නවනෙ "

" එහෙනම් අපි බීච් යමු... "

" ම්ම්ම්ම් මට බයයි ... "

" බයවෙන්නෙපා අපි කලින් හිටියෙ ඉඳුරුවෙනෙ. අපි එහෙ යමු. මම දන්නවනෙ ඒ පැත්ත ගැන ..... "

එදා අපි මුහුදු වෙරලේදී හමු උන ඒ උදෑසන දෙදෙනාගේම (?) ජීවිතයට කිසිදා අමතක නොවන දිනයක් වූවාට සැකයක් නැත. පලමු වතාවට ඈ මගේ උණුහුමට තුරුළු විය. ඉන් අනතුරුව වෙනදා මෙන්ම තොර තෝරංචියක් නැතිව අප අතර ඇරඹෙන කතා බහ ආරම්භ විය.

" ඉසුරු අපි යන ගමන් කන්දෙවිහාරෙත් ගිහින් යමු.... "

" හ් ම් .. "

" ඔයා මොනවද බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ ". මම ඇගෙන් විමසුවෙමි.

" ඔයාව.. " ඈ සුරතල් තාලයකින් පැවසුවාය.

" ලෝකය කොච්චර විශාලද
මොනතරම් සංකීර්ණද
ඒත් මං පතන්නෙ ඔයාව විතරයි
ඒක මොනතරම් අහිංසක ප්‍රාර්ථනාවක්ද
ලෝකයක් අමතක කරලා මං ඔයාව පතනවා
ඇත්තටම ඔයා කියන්නෙ මගේ ලෝකය .... "

අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන් බලාපොරොත්තු වූයේ එම ප්‍රතිපලය නොවන බව මම දැන සිටියෙමි. ඈ එදා හොඳටම ඇඬුවාය. ඇගේ ප්‍රතිපලයද තරමක් පහත් මට්ටමක පැවතියද ඈට ඒ ගැන කිසිදු ගානක් නැත. ඈට ඈ ගැන දුකක් නැතිවා සේය. ඈ දුක් වූයේ මා ගැනය.

ජීවිතයේ ප්‍රථම වතාවට මට මා ගැනම කලකිරීමක් ඇතිවූයේය. ඈ හැඬුවේ බොරුවට නොවන බව පැහැදිලිය. මට මේ තරම් ආදරය කරන ඇගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වූයේය. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවී ඈගේ බලාපොරොත්තුව ඉටු කල යුතුයැයි මගේ සිත මට පවසන්නට විය. මේ සියල්ලම ඈ වෙනුවෙනි. මට මවක මෙන් ආදරය කරන ඈ වෙනුවෙනි.

මේ අතර මා නිතරම අසනීප වීම නිසා අම්මා මගේ කේන්දරය බැලෙව්වාය. මට තදබල අපල පවතින බැව් පවසා තිබේ. මා විසින් ඇයටද මේ බව සැල කලෙමි.

" ඉසුරු ඔයාට ඔය තරම්ම අපල නම් අපි බෝධි පූජාවක් තියමු."

" අනේ මන්ද. කොහොමද ඉතින් ඕක කරන්නෙ.."

" ඔයා ඉන්නකො මමනෙ කරන්නෙ.... "

ඉන් පසු එලඹි පෝය දිනක මාත් ඇයත් ඇගේ සහෝදරියකද සමග ඇගේ නිවස ආසන්නයේ පංසලට ගියෙමු.
යන්නෙ කොහෙදැයි ගෙදරට නොකිව් නමුදු මා ගෙදර එනවිට සියල්ලෝම සිදුවූ සියල්ල දනිති. අම්මා නම් කිසිත් කීවේ නැත.

" අනේ හොඳයි ඔහොමවත් පංසලකට යනවනම් ... " ඒ හඬ අක්කාගෙනි.

ජීවිතය වඩාත් සුන්දරව ගලාගෙන යයි. වරෙක රණ්ඩු වන අපි දෙදෙනා ඊටත් වඩා ආදරයෙන් නැවත එක්වේ. එහිද එක්තරා සුන්දරත්වයක් ඇත. වරෙක මම ඇය මුණගැසීමට ඇගේ නිවසට යන්නෙමි.

" ඉසුරු ඇයි ඔයාට සනීප නැද්ද ? "

" ම් හු... "

" අදත් ඔළුව රිදෙනවද ? "

" ඔව් අප්පා..."

" මම තෙල් ටිකක් දාල අත ගාන්නද ? "

" මල්ලිත් ඉන්නවනෙ. කමක් නැද්ද ? "

" අව්ලක් නෑ. ඉන්න ... "

ඈ තෙල් බෝතලයකුත් රැගෙන මා අසලට පැමිනේ. ඉන් අනතුරුව මගේ හිස ඇගේ ලමැදට තුරුළු කරගෙන මගේ ඔළුව පිරිමදියි. මට දැනෙන්නේ කුඩා කල අම්මාගේ උණුහුමට තුරුලු වූ වූවිට දැනෙනා අන්දමේ හැඟීමකි. සැබැවින්ම ඇය විටක අම්මා වැනිය. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා වැනි අවවාද රැසකි. මා ඇයට කීකරු වී ඒ අවවාද සියල්ලම පිළිගත්තේ ඇය මා හට ඇති දැඩි ආදරය නිසාවෙනි.

අපේ ජීවිත වල නැවතත් වැදගත් සන්ධිස්ථානයක් එලඹ ඇත. ඒ උසස්පෙළ විභාගයයි. එහෙත් සතුට පවතින්නේ කොතරම් කෙටි කලක්ද ?

" ඉසුරු මාව අමතක කරන්න.......

Bookmark and Share

බ්‍රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ කට හඬය.බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා සිදූ වූ දෙයක්ද නොදනී.


බස් රථය නැවතුම් පොලක නතර කිරීමෙන් පසු එයට ගොඩවූයේ මා මීට පෙර හොඳින් දැක පුරුදු බවක් දැණුනු කෙල්ලෙකි. ඒ පසුගිය දවසක පංති ඇරී ගෙදර එනවිට දුටු මා ඇසිපිය නොහෙලා බලා සිටි ඈ ම බව විශ්වාසය. ඈ ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකිව ලතැවෙමින් සිටි මා හට ඈ මා සිටි බස් රියටම ගොඩවීම පුදුම සහගත සිද්ධියක් විය. ඈ යන්නේ මා යන පංතියටම බව ඈ අත තිබූ පොත් මිටිය අතර රැඳි ෆයිල් කවරයෙන් තේරුම් ගත හැක. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙනවා යැයි කියන්නේ මේකටය. කෙසේ හෝ ඇය සමග කතා කිරීමේ අදහසින් ඈ අසලට ඇදී ගියද කකුල් දෙක මැන්ඩලීන් ගසන බව දැනේ. කරන්නට කිසිම දෙයක් නැත. බස් රථය කළුතරට ලඟාවී අවසානය. කරන්නට දෙයක් නැත. ඈට මාහට ඉස්සරවී බසයෙන් බැසීමට ඉඩ දී මා බැස ඈ සොයනවිට ඈ පාර මාරුවී අවසානය. පංතිය අවසානවි හෝ ඇය සමග කතාකිරීමේ සිහිනයද සිහිනයක්ම වූයේ " ආ එහෙනම් ගෑණු ලමයි මුලින් යන්න " යනුවෙන් ගුරුවරයා පවසද්දීය.



ඊලඟ දිනයේ ඈ සුපුරුදු ලෙස බසයට නැග්ගේ නැත. ඈ පංති ආවේද නැත. ඉන්පසු දිනයේ ඈ සුපුරුදු ලෙසම බසයට ගොඩවිය. යාළුවෙකුද සමග ඈ අසලට ගියේ කතා කිරීමට උවද වචන පිටවෙන්නේ නැති තරම්. අදත් වෙන්නේ එයා දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්න තමා. ගමනාන්තයට දැන් හොඳටම ආසන්නය. කොන්දොස්තර එතනට පැමිනි විට ඈ එකවරම ටිකට් ඉල්ලුවාය.


" ආ මෙන්න මෙයා බස් එකේ හොරෙන් ඇවිත් "


ගොලුවී තිබූ කට විවෘත වී ඇත. සැනෙකින් සිතට නැගුනේ දැන් ඉතින් උදේ පාන්දරම බඩ කට පිරෙන්න අහගන්න වේයැයි ක්ෂනික බියකි. බස් එකේදි කෙල්ලන්ට විහිළු කරන්නෙපා යැයි යහලුවන් කොතෙක් කිව්වද මට කෙල්ලෙක් දැක්ක ගමන් ඒක අමතක වේ. කෙල්ලෙක් රැව්වේ නැත්නම් මට නින්ද යන්නෙ නැත. ඇයගෙන් බැනුම් ඇසීමට සිදුවේ යැයි සිතුවද ඇගෙන් ලැබුනේ අහිංසක සිනාවක් පමනි. ඇගේ ප්‍රතිචාරය හොඳය. කතා කරනවනම් මෙන්න චාන්ස් එක. ඒත් ඇය සමග මොනවා දොඩන්නද ?

"ඇයි නංගි දොඩන්නැත්තෙ "

"මේ අවාරෙනෙ අයියා"

ඇය පසුදවසකනම් මා හා එසේ දොඩමළු වී ඇත.

අනතුරුව මාහට මතක් වූයේ ගිය සතියේ ප්‍රසන්න සර් කරපු පාඩමයි. එහිදී ඔහුට රතු පැහැ රසායනිකයක වර්ණය පෙන්වීමට අවශ්‍ය විය. එහිදී ඔහු පන්තිය පුරා නෙත් යොමා අනතුරුව මෙසේ කීය. " ගෑණු ලමයි ලබන සතියෙ එන කොට රතුපාට ඇඳුමක් ඇඳන් එන්න. එතකොට මම නැගිට්ටලා පෙන්නන්නම් " යනුවෙනි. පුදුමයකි. ඇගේ ටී ෂර්ටයද රතු පැහැතිය.


"අද වැඩේ හරි. අද මෙයාට නැගිටලා තමා ඉන්න වෙන්නෙ."



ඈ පුදුමයෙන් මා දෙස බැළුවාය. දිගටම ඇයට විහිළු කිරීමට පොටක් පාදාගත් මම ඇයව හොඳටම බය කරෙමි. ඇය පසු දවසක පැවසුවේ මං එදා හොඳටම බය උනා ඉසුරු. වැරදිලා හරි එහෙම කරානම් ...

විහිළුවක් ගිය දුර ..

ඉන් අනතුරුව සෑම දිනකම ඈ හා මා අතර මුණගැසීම නොකඩවා සිදු විය. ඈ පාසල් යන්නේ තාත්තා සමගින් මෝටර් සයිකලයේය. ඈ අපේ ගෙදර අසලින් යනු මා මිදුලට වී බලා සිටිමි. මං දත් මදින්නේ ඈ පාසල් යන වෙලාවටය. 10ට නැවත ගෙදර එමි. එහෙත් ඒ සියල්ල වෙනස් විය. මාත් උදේ පාන්දරින්ම ඉස්කෝලෙ යන්නට පුරුදු විය. ඈ පාසල ඇරී එනතුරු බලා සිටිමි.

"ඉසුරු දවසක අපේ ගෙදර එන්න ..."

"මට බෑ ...."

"අනේ ..."

"එහෙම එන්න පුලුවන්ද ? "

"එහෙනම් අවුරුද්දට එන්න .."

" හ් ම් ම් ම් ......"



ඈ අමනාප කර ගැනීමට ඇති අකමැත්ත නිසා හෝ ඇයගෙ දැඩි පෙරෙත්තය නිසා ඇගේ ඉල්ලීම බාර ගැනීමට මට සිදුවිය.


දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින් ගසන්නට විය.

" ආපහු යමන් බං "


" පිස්සුද මම එයාට පොරොන්දු උනා අද එනව කියල "


" යකෝ අපෙ අම්මල දැන ගනියි "


" උඹ කියපන් මගෙ වැඩකට ආව කියල. "

එවිටම ඇගේ මල්ලි " ආ අයියෙ එන්න එන්න " යැයි ගෙයි දොරකඩ සිටම කෑ ගැසුවේය.

" උඹ මුලින් පලයන් මම පස්සෙ එන්නම් " ඒ මිතුරාගේ හඬය.

මා නිවසේ ගේට්ටුව ඇර ආපසු හැරී බලන කල දෙවියන් සිහි විය. මගේ මිතුරා බයිසිකලයත් රැගෙන පලා ගොස්ය.

" පුතේ එන්න ගෙට "

" තව මොනවහරි කන්න "

" මෙයා හැමදාම කියවන්නෙ ඔයා ගැනමයි "

" මම ගිහින් එන්නම් ඇන්ටි "

" ආයෙත් දවසක ඇවිත් යන්නකෝ ..... "

ඇයත් මාත් මෙලෙස එකිනෙකාට හොරෙන් ආදරය කලෙමු. දිනක් මා ඇයට කෙටි පණිවිඩයක් යැව්වෙමි. එය සිංදුවකි.

" සිනාසෙන්න මට අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි .... "

" මට ආදරය කරන්නෙපා ...."

" ඇයි ඔයා කටහරි ආදරෙයිද ? "

" ඇත්ත ඉසුරු මම එයාට ආදරෙයි. මම ඔයාව පැතුවෙ යාළුවෙක් වෙන්න විතරයි. ආදරයයි යාළුකමයි කියන්නෙ දෙකක් .."

අපි අද අළුත්ගම පාරෙන් යමු. යෝජනාව ඇගෙනි. කොහෙන් ගියත් යන්නේ ගෙදරනෙ. ඇය කියන දෙයට එකඟ වීමට මට සිදුවේ. පලමු වරට මා ඈ හා එකට වාඩි වී පැමිණියේ එදාය.

" මේ මොකෝ මේ .. "


" ඇයි ? "


" කෝ ඔයාගෙ අත පෙන්නන්න "


ඇය ඇගේ දකුණු අත මාගේ ඔඩොක්කුවෙන් තබයි

" අයියෝ .. පොඩි ලමයෙක් වගේ හැම තැනම පෑන් ඉරි "

" ඉන්න මම මකන්නම් " මගෙන් පොඩි කට්ට කමකි

ඇගේ අතේ පෑන් ඉරි මකන්න ගියද සිදුවූයේ අනිකකි. කවුරු මුලින් කරාදැයි මතක නැත. අපේ දෑත් එකට පැටලිනි.

" මම ඔයාට ආදරෙයි ...." හඬ මාගේය.

පිලිතුරක් නැත. ඈ ගැන මගේ සිතේ තිබුන බලාපොරොත්තු සේරම ඈ ඉදිරියේ දිග හැරීය.

" ඔයා කියන්නෙ මගෙ මුලු ලෝකෙම . ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි ...."

" නෑ ඉසුරු මම ඔයාට කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මම හැමදාම ඔයා ගැන බලනවා. "

අත ගන්න බහින්න පරක්කු වෙනවා. ඇයටනම් ගානක් වත් නැති හැඩයි. විභාගයට තව මාසයක්වත් නැත. ඕ ලෙවල් කරන කාලයේ ගනන් සර් කියන ලද කවියක් මතක් වෙයි.

" විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
ඌ .... "

" ඔයා මට ආදරේ නේද ? "

" හ් ම් ම් ම් ... "


" කොච්චරක් .."

" මෙච්චරයි " ඈ මැද ඇඟිල්ලට මහපට ඇඟිල්ල තබා සුළු ප්‍රමානයක් පෙන්වයි

" අනේ තව ටිකක්...."

" බෑ ඈ ඈ ....."

" හ් ම්ම් කමක් නෑ මට ජීවත් වෙන්න මේත් ඇති ..."


Bookmark and Share

ආදර්ශවත් තරුණයා



පහුගිය දවසක මිදුලට වී උන් මාහට දක්නට ලැබුනේ අධික වේගයෙන් දැවනය වූ මෝටර් සයිකලයකි. පදවාගෙන ගියේ තරුණයෙකි. අපේ පාරෙනම් ඉතින් මේ තරම් වේගයෙන් ගියොත් ඉන්න වෙන්නේ අහල පහල වෙලකය. ඔහුට ඒ බවක් ගානක්වත් නැත. නමුත් නැවත මාහට දක්නට ලැබුනේ ඔහු සිය බයිසිකලය හරවාගෙන නැවත සෙමෙන් පාර පිරික්සමින් එන අයුරුය. ගිය වේගයට ඔහුගේ බයිසිකලයේ තිබූ යමක් වැටෙන්නට ඇත. මටත් නිකන් ඉන්න බැරි කමට පාරට ගියවිට දුටුවේ ඔහු අසල ඇති ඇලට බැස කුමක්දෝ කරන බවය. ලං වී බලන කළ ඔහු අත සිටියේ කොරවක්කෙකි.


ඔහු සිටියේ කොරවක්කාට වතුර පොවමින්ය. ඔහු අසලට පිවිසි මට ඔහු පැවසූයේ " බයික් එකේ වැදුන මල්ලී " යනුවෙන්ය. අනතුරුව ඔහු විසින්ම කොරවක්කා දෙපයින් සිටවා උගේ පියාපත් පිරිමැද නැවතත් පොල්කට්ටක් රැගෙන ඌට බීමට වතුර දෙන ලදි. ටික වේලාවක් එසේ සිටි එම සතා නැවත තම දෙපයින් උගේ වාසස්ථානය කරා ඇදී ගියේය. ඔහු දුටුවිට මට මතක් වූයේ වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත යනුවෙන් චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන ලද ගීතයයි.




මින් පෙර අප ජීවත් වූයේ ගාළු පාරට ඉතා සමීපව පිහිටි නිවසකය. එහිදී නිරන්තරයෙන්ම රිය අනතුරු සිදුවනු දැක තිබේ. නමුත් ඒ වාහන මහමග මිනිසුන් මැරී යද්දීත් තම වාහනය නොනවත්වා ධාවනය කර තිබෙනු මාදැක ඇත. ඔවුන්ට මිනිස් ජීවිතයක් ගැන දූවිල්ලකවත් ගානක් නැත. එවැන්නන්ට මේ තරුණයා දුන්නේ මහඟු ආදර්ශයක් නොවෙද ? ඔහු තම වටිනා ඇඳුමද විනාශ කරගෙන වතුරට පැන එම සතාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කල අන්දම සැබැවින්ම ප්‍රශංසනීයයි. අනෙක් පුද්ගලයන්ට හෙන ගැහුවත් කමක් නැත යනුවෙන් සිතා ආත්මාර්ථයෙන් රිය පදවන බොහෝ රියදුරන් මා දැක ඇත. සැබැවින්ම ඒ තරුණයානම් අනෙක් සියළු රියදුරන්ට ආදර්ශයකි. මේ බ්ලොග් සටහන ඔහුට උපහාරයක් වශයෙනි.

Bookmark and Share
Related Posts with Thumbnails