අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


හුඟ කලෙකින් හමුවී
සෝ ලතැවුල් ...
අදත් විඳින්නේ මා පමනද ...?

මේ පාරත් නිවාඩුවට ගෙදර ආවම මට වෙනද වගේම ඔයාගෙ අම්මව මුණ ගැහුනා. විස්තර කතා කර කර ඉඳල අන්තිමට අපේ මාතෘකාව ආවෙ ඔයා ගැන.

" දැන් ඉතින් වැඩට යන්නෙත් නෑනෙ. කාවහරි හොයල බන්ඳලවත් දෙන්න ඕන....."

මගේ හදවත එක පාරටම නැවතුනා වගේ මට දැනුනා. හිනාවෙලා ඒක අහන් ඉන්න තරම් මට හයියක් තිබුනෙ නෑ. ඔයාගෙ අම්මටත් ඒක තේරුණාද කොහෙද. ඊට දවස් දෙක තුනකට පස්සෙ ඔයාලගෙ ගෙවල් පාරෙන් යන ගමන් ඔයාවත් නොබල යන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.

" එන්න ගෙට... "

ඔයාගෙ ආදරණීය ආරාධනාව කොහොම අහක දාන්නද ? මීට මාස දෙක තුනකට කලින් මාව මරාගෙන කන්න හදපු ඔයාම මට ගෙට එන්නත් කියනවා. මමනම් හිතුවෙ කොස්සකුත් අරන් දුවනකම් මට ගහයි කියල. එහෙම හිතුනට මම දන්නවා ඔයා මට එහෙම කරන්නෙ නැති බව.

ගොඩක් දවසකින් හම්බුන නිසා අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා.

" ඔයාට ඔලුව කැක්කුමයි ද ? "

තාමත් එහෙනම් ඔයාට මාව තේරුම් ගන්න පුළුවන්. මොකද මගෙ මේ කරුම ලෙඩේ ගැන අම්ම තාත්ත ඇරුනම හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ ඔයාට විතරක්ම උන නිසා.

" ඉන්න මම තෙල් ටිකක් දෙන්නම් ඔලුවට දා ගන්න.... "

" එපා.... "

" දාගන්නවා..."

" එපා කිව්වනෙ.. "

" ඉන්නවකො මම ගෙනත් දෙන්න.. "

මගේ හිත මටත් හොරෙන් අතීතයට දුවගෙන ගියා.....

එදත් මම මේ වගේම ඔලුව කැක්කුම හැදිල මේ වාඩිවෙලා ඉන්න පුටු පේලියෙම පුටුවක වාඩිවෙලා හිටිය මට මතකයි. එදත් ඔයා මේ විදිහටම මට බැන්න ඔලුවට තෙල් ටිකක් දා ගන්න කියල. ඊට පස්සෙ තෙල් බෝතලෙත් අරන් ආපු ඔයා නැවතුනෙ මගෙ ගාව.

" ඉන්නව දා ගන්න බැරිනම් මම දාන්නම්..."

ඔයා මගෙ ලඟට ඇවිත් මාව ඔයාගෙ පපුවට තුරුළු කරගෙන ආදරෙන් මගෙ ඔලුව අත ගාපු හැටි මට තාම මතකයි. පොඩි එකෙක් වගේ ඔයාගෙ පපුවට තුරුළු වෙලා ඒ සුවඳ විඳින්න මම තාම ආසයි. මට ඒ වෙලාවට දැනෙන්නෙ මම මගේ අම්මගෙ උණුහුමට වෙලා ඉන්නව වගේ හැඟීමක්. ඒ කිරි සුවඳ ඔයා ගාවත් තියෙනවා. ඔයා මට මේ තරම් ආදරයක්. මට හිතා ගන්නවත් බෑ. අන්තිමට තෙල් දාල ඉවරවෙන කොට ඔයාව මගෙ ඔලුවෙ තෙල් වලින් නෑවිලා.

" ආ... දාගන්න "

ඔයාගෙ හඬින් මම හීන ලෝකෙන් ඇහැරුණා

" ඉස්සරනම් ඔයා තෙල් බෝතලේ දීල නිකන් ඉන්නෙ නෑ. දාල අත ගානවත් එක්ක.... "

ඔයා අහිංසක විදිහට හිනා උනා විතරයි. අපිට ආයෙත් අතීතෙට යන්න ඉඩක් ඇත්තෙම නැද්ද ?

"කමක් නෑ එපා.... "

මට ගොඩක් දුක හිතුනා. ඔයාටත් ඒක තේරිලා වෙන්න ඇති. ආයෙ මට බල කරේ නෑ.

කතා නැතිව අපි දෙන්න ගොඩක් වෙලා හිටියා. ඒ කාලෙ පුරාවටම මම කලේ ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටපු එක.ඔයාගෙ ඇස් දෙකේ කියාගන්න බැරි මොනවදෝ හිර වෙලා තියෙනවා මම දැක්කා.

" ඔයාට අපෙ අම්මව හම්බුනාද ? "

" ඔව්.. අම්ම මොකෝ කිව්වෙ ගෙදර ඇවිත්... "

" මොකුත් නෑ ඉතින් ඔයාව හම්බුනා කිව්ව.. මාව කාව හරි හොයල බන්ඳලා දෙන්න ඕන කිව්වම ඔයාගෙ මූණ දෙක උනාලු... "

මම ඔයත් එක්ක හිනාවෙන්න උත්සහ කරා..

" අම්මට දුක හිතුනලු ඔයාගෙ මූණ දැක්කම. ඒ නිසාම ආයෙ ඒ ගැන මොකුත් කතා කරේ නෑ කිව්වා.... "

" ඇත්තටම එහෙම උනාද ඉසුරු..."

" වෙන්න ඇති...."

මම අහක බලාගෙනම ඔයාට උත්තර දුන්නා. ඔයාගෙ මූනෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියා.

" ඉසුරු සීයගෙ දානෙ ..... තියෙනවා. ඔයා එන්න. මට වෙන කරන්න දෙයක් නෑ ඉසුරු. මම අයියව කසාද බඳිනවා.... " (සිනාසෙන්න මට අවසර දෙනු මැන 3 කොටස බලන්න)

ගෙදර ගියාට පස්සෙ ඔයා මට ඒ විදිහට එස්.එම්.එස් එකක් එව්වා....

ඔයා ගැන මගෙ හිතේ තිබිච්ච බලාපොරොත්තු කඳුලු වල දියවෙලා ඇස් දෙකෙන් කඩාගෙන වැටුනා....

වැටෙන කඳුලු පිස ලන්නට
හිස අත ගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.....
දුක තියාන.....


එතනින් අපේ හමුවීම නැවතුනේ නෑ. අපි ආයෙත් අපිට ලං උනා. යාලුවො විදිහටද එහෙම නැත්නම් වෙන කවුරුහරි විදිහටද කියන්න මම දන්නෙ නෑ.

" මම ඔයාගෙන් පොඩි බඩ්ඩක් අහන්නද ...? "

ඒ වගෙ අපි හම්බෙච්ච දවසක මම ඔයාගෙන් ඇහුවා.

" හ්...ම් "

" ඔයා මීට මාස දෙක තුනකට කලින් මට කිව්වා නේද ඔයා අයිය කෙනෙක් එක්ක යාලුයි එකට ට්‍රේන් එකේ යන එක්කෙනෙක් එක්ක කියලා...."

" ඇත්තටම එහෙම එකක් තිබ්බෙ නෑ නේද ? "

" නෑ ඉසුරු. මම බොරු කිව්වේ.. "

" ඇයි එහෙනම් ඒ බොරුව පිටින් දාල මට බැන්නෙ... "

"මම එහෙම කරේ ඒකෙන්වත් ඔයා මට ආදරේ කරන එක නවත්තන්න හිතාගෙන....."

" ඔයා හිතනවද එහෙම කරා කියල මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවෙයි කියලා...."

මගේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් ඔයා ලඟ නැතිවෙන්න ඇති.

තවත් දවසක.....

" ඉසුරු අයියත් දානෙට එනවා. දන්නවනෙ ඔයා ඉතින්.. අනේ එයා මාත් එක්ක ඉන්නව දැකල හිත රිද්ද ගන්නෙපා..... "

ඔයා කියන්නෙ හරියට මම හිතල හිත රිද්දවගන්නව වගේ. කිසිම දෙයක් කියන්නෙ නැතිව මම ඔහේ බලාගෙන හිටියා.

" මම එන්නෙ නෑ බණ ගෙදර..."

" ඔයා එන්න.. ඔයා එන්නම ඕන. මම බලන් ඉන්නවා... "

" ඒ උනාට හරි නෑනෙ. ගමේ මිනිස්සු මොනවද නොහිතන්නෙ....."

" ඔයා නාවොත් තමා ගමේ අයට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ....."

" මට බෑ. මම එන්නෙ නෑ. සොරි තරහ වෙන්නෙපා... "

" අනේ එන්න. මට ආදරේනම් එන්න..."

එතනින් එහා ඔයා එක වචනයක් වත් කිව්වෙ නෑ. ඔයා දන්නව ගානට මාව හිර කරගන්න. තාමත් ඔයා එදා වගේමයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

බණ ගෙදරට දානෙ ගෙදරට මම ආවෙ හිතකින් නම් නෙමෙයි. ඔයා බලන් ඉන්න බව දන්න නිසා. ආ පයින්ම යන්න හදනකොට ඔයා කිසිදෙයක් කියන්නෙ නැතිව බලාගෙන උන්නා.

මීට අවුරුදු තුනකට විතර කලිනුත් ඔයාලගෙ ගෙදර මේ වගේම දානෙ ගෙයක් තිබුනා. එදා ඔයා අතින් බීම එකක් ගත්තෙ නෑ කියල ඔයා එක දිගට ඇඬුව දවස් දෙකක්ම. අතීතයේම ජීවත් වෙන්න තිබුණනම්....

අපේ අන්තිම හමුවීම.....

" මට ඔයා තවදුරටත් යාලුවෙක් විතරයි ඉසුරු....."

" අයියා මට ගොඩක් ආදරෙයි. ඉස්සර මොනදේ උනත් මම දැන් ඒ ආදරේට ආදරෙයි...."

" වහිනවා නේද ? ඉන්න මම ඔයාට මගෙ කුඩේ දෙන්නම්......"

" ඔයාට කොහොමද මම ආපහු දෙන්නෙ....."

" එපා ඒක ඔයා තියා ගන්න...."

මට ඔයාව තේරුම් ගන්න අමාරුයි. මීට ටික දවසකට කලින්....

" ඉසුරු ඔයාගෙ ෆෝන් එකේ මගේ ෆොටෝ තියාගෙන ඉන්නෙපා....."

" ඇයි...?"

" නෑ ඉතින් ඒව දැක්කම ඔයාට දුක හිතෙනවනෙ...."

එදා එහෙම කියපු ඔයා අද මට ඔයාගෙ කුඩේ තියා ගන්න කියනවා. ඔයා හරි පුදුමයි. ගොඩක් වෙනස් වෙලා. ඔයාට මාව යාලුවෙක් විතරක් උනාට මට කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතන්න බැරි වෙයි. ඔයා නොදන්නවත් ඇති ඔයාගෙන් මට නැති උනේ කෙල්ලෙක්ගෙ ආදරයක් විතරක් නෙමෙයි.මට නැති උනේ අම්ම කෙනෙක්ගෙ ආදරයක්. මට බෙහෙත් අරන් දෙන්න ඔය කකුල් දෙක රිදෙනකම් ඉස්පිරිතාලෙ පෝලිම් වල හිටගෙන හිටපුවා , ඔලුව කැක්කුම වෙලාවට මාව ඔඩොක්කුවෙ තියාගෙන ඔළුව අතගාපු හැටි , මා ගැන මටත් වඩා හොයල බලපු හැටි අමතක කරන්නනම් මට මැරිල උපදින්න වෙයි. මොනව උනත් මම ඔයාගෙ සතුට වෙනුවෙන් ඔයා කැමති ඕනම දෙයක් කරන්නම්. මොකද ඔයාගෙ සතුට දැකල මටත් කවදහරි සතුටුවෙන්න පුළුවන් නිසා. හැමදාම පැතුවෙ ඔයාගෙ සතුට විතරක්ම නිසා.

ඔබගේ යහපත දියුණුව සැලසේ නම්...
මගේ දිවිය හැර අනෙක් සියළු දේ
කැපකෙරුමට මා සූදානම්...

Bookmark and Share

18 comments:

Express (දිලංක මාධව) said...

මචන් මම ආයි ඇඬුවා.උඹේ කතාව කියවන කොට සමහර තැන් මගේ කතාවෙත් තියෙනව.වෙන කියන්න දෙයක් නෑ.

සුදු මහත්තයා said...

ගනන් ගන්නෙපා කොල්ලො. මොනව කරන්නද ? ආදරය කරානම් ඒකෙ දුකත් අපිම විඳ ගන්න ඕන

ආදර කතාව said...

හ්ම්... ඇඩෙන්නේ නැත්තෙ කාටද මෙහෙම දෙයක් කියවපුවහම. මගේ හිතෙ පුංචි ප්‍රශ්ණයක් තියනව අහන්න. මම ඒක වෙන දවසක අහන්නම්. සතුටින් ඉන්න සුදු මහත්තයෝ...

සුදු මහත්තයා said...

මොකක්ද ප්‍රශ්නේ... අහන්න අහන්න.

මෙහෙම අහන්න බැරිනම් මට මේල් එකක් එවන්නකො.. :)

වැම්පයර් said...

ඈ බන් කොල්ලො.. මොකක්ද බන් මේ.. අඤ්ඤකොරොස් වෙනවනේ කියවනකොට..

උඹට ආයෙත් මම කියන්නේ මේ.. හොඳින්...

"වැටෙන්නෙපා....!!"

ජය..

සුදු මහත්තයා said...

@ වැම්පයර්...

බලමු නොවැටී ඉන්න.....

බොහොම ස්තූතියි

පොලිස් පොඩිඩා said...

නියමයි යාලු ඇත්තටම.මගේ ජිවිතේටත් ඔය වගේම දෙයක් වෙලා තියනවා.එයත් දැන් වෙන 1 මැරි කරන්න හදන්නෙ.එත් මම තාමත් එයාට ආදරෙයි.දෛවය කියන්නෙ ඒකට නම අපි ඒකට මුහුණ දෙමු.දුක් වෙන්න එපා සහෝ........

සුදු මහත්තයා said...

ඔව් මචෝ...

සිහිනය මිය යා යුතුය මේ ලෙසේ...

ජංජාල චාමර said...

සිරා...වචන නැහැ කියන්න....සැබෑ සිදුවීමක් වුණත් උඹේ ලිවිල්ලේ තියෙන සංවරකම , වචන ගැලපීම උපරිමයි ....

මටත් ආස හිතුණා ඔහොම ලියන්න...

හැබැයි උඹ ගැන දුකයි...මොකද මේක ඇත්ත කතාවක් නිසා

සුදු මහත්තයා said...

@ ජංජාල

අගය කිරීමට ගොඩක් ස්තූතියි.

මොනව කරන්නද මචන් මේක තමා මගෙ ලැබීම

Dinesh_Silva said...

මිත්‍රයා වාහන වල ඉස්සරහට යන ගියර් 4 හෝ 5 තියෙද්දි පස්සට යන්න තියෙන්නෙ එක ගියර් එකයි. අපි ගමනක් යද්දි යන්නේ ඉස්සරහට තියෙන ගියර් දාලා. reverse එකට දාන්නේ ඕනම උනොත් විතරයි. එහෙව් එකේ ඇයි උඹ මේ reverse ගියර් එක ට දා ගෙන ඉස්සරහට යන්න හදන්නේ?

සුදු මහත්තයා said...

ඇත්තටම ඔයාගෙ කමෙන්ට් එකෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා මචන්. ඒත් ගියර් එක ඉස්සරහ ගියර් එකක තිබුණු පලියටම වාහනේ ඉස්සරහට යන්නෙ නෑ නේද ?

මල්$han said...

ඉවසන්න තව පොඩි කාලයක්....ඔයාටත් හොඳ කෙනෙක් හම්බවෙයි...ඔයා අන්තිමට ගිහින් නතර වෙයි ඔයාට අයිති නියම කෙනා ලඟ....අන්න එදාට ඒ කෙනාට ගොඩාක් ආදරය කරන්න.....ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ..... :)

Prabhath Darshana said...

මචන් ඉසුරු,
ගැහැණු චපල බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
මං කියන්නෑ උඹට 'ගනන් ගන්න එපා ඕවා ඔහොම තමයි' කියල. එහෙම කිවුවට උඹෙ හිත හැදෙන්නෑනේ.
ඒත් ජීවිතය හරිම පුදුමාකාරයි, ආදරය වේදනාවක්ම තමයි. ඒ අපි ඒකට ලෝබ වන නිසා.
හිතට දුකක් දැනෙන නිසා හිනාවෙන්න අපහසු වුනාට, ඔය තත්වය පහවෙලා යයි ඉක්මනටම....
ඉතින් ජීවිතයට අපි මුහුණ දෙමු. කවුරු නැතත් අම්මයි තාත්තයි ඉන්නවා..ඒ වගේම අපිත් ඉන්නවා. යාළුවො විදියට උඹ ලඟින්ම...

සුදු මහත්තයා said...

@ මල්ෂාන්

ඔව් මචන්. එහෙම දවසක් එනකන් ජීවිතේ ඉස්සරහට මම යනවා

සුදු මහත්තයා said...

@ ප්‍රභාත්.

ඔව් මචන්. නොලැබිච්ච එක දෙයක් ගැන හිත හිත හිටියොත් මට ලබා ගන්න පුලුවන්කම තියෙන දාහක් දේවල් මට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම කොහොම හරි එයාව අමතක කරන්න ඕන.

පොඩි මහත්තයා said...

අනිවාර්යෙන්ම

සහන් මල්දෙනිය said...

මචන් සුදු මහත්තයා
කාලෙකට පස්සෙ උඹෙ බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනා ආවම තමා මේක දැක්කෙ මචන් අතීතය අමතක කරන්න අමාරුයි තමා ඒත් බන් අතීතය එක්ක ජීවත් වෙන එක ඊටත් වඩා අමාරුයි
උඹ දැන් හොද ‍ට්‍රැක් එහෙකට වැටිල ඉන්නවා (කැම්පස් යනව කියල ආරන්චියි) ඉතින් මචන් අතීතය අමතක කරන්න අමාරුම නම් උඹ පොඩ්ඩක් ඇකඩමික් වැඩවලට බරක් දීපන් මොනව හරි වෘතීමය පාඨමාලාවක් වාගේ එකක් හොයා ගනින් කරන්න ටිකක් හරි ඔය පහුගිය දේවල් අමතක කර ගන්න ඒක උදවුවක් වේවි
උඹට ජයෙන් ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails