අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


ඔයාට මතකද ඉස්සර දවසක අපි දෙන්න මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියපු හැටි. ඔයා මගෙ උණුහුමට වෙලා අනාගතය ගැන දාහක් දේවල් කියවපු හැටි. ඔයාට ඕන උනේ කවදහරි දවසක මුහුද මැද්දෙ පුංචි දූපතක ලස්සන ගෙයක් හදන්න. ඒත් මම ඒකට කැමති උනේ නෑ. ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. වැරදිලාවත් ආයෙ සුනාමියක් ආවොත්. ඔයාට කරදරයක් වෙයි කියල මට බයයි. ඔයා හැමදාම වැලි වලින් පුංචි මාළිගාවල් හදමු කියල කිව්වත් මම අපි ඒක ඊළඟ දවසෙ හදමු කියල කල් දානව. කම්මැලිකමකටවත් ඔයා කියන දේකට උනන්දුවක් නැති නිසාවත් නෙමෙයි. අපි දෙන්න කොයිතරම් මහන්සිවෙලා ඕක හැදුවත් එක රළ පාරකින් ඒ මාළිගාව විනාස වෙලා යන නිසා. එතකොට ඔයාට කොයිතරන්නම් දුකක් දැනෙයිද ? ඔයාට අබ මල් රේණුවක් තරම්වත් දුකක් දැනෙනවට මම කැමති නෑ.

අපි දෙන්න එහෙම ගිය හැම දවසකම කන්දෙ විහාරෙටත් ගියා. ඔයාට මතකද අපි දෙන්නත් එක්ක බුදු හාමුදුරුවන්ට එක මලක් පූජ කරපු හැටි. මල් නැතිවට නෙමෙයි. අපි දෙන්න ඒ තරමට අපිට ආදරය කරා. අපි දෙන්න දෙන්නෙක් කියල කවදාවත් නොහිතුන නිසා. ඔයා හැමදාම බුදුගෙට මල් පහන් පූජ කරල ප්‍රාර්ථනාවක් කරනවා. මාත් ඔයා ලඟින්ම ඉඳගෙන ඔයාගෙ ප්‍රාර්ථනාව ඒ විදියට ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මට ප්‍රාර්ථනා කරන්න දේවල් නැතිව නෙමෙයි. ඔයාගෙ සතුට මට ගොඩක් වටින නිසා. ඔයාගෙ ප්‍රාර්ථනාවල් ඒ විදියටම ඉටුවෙලා ඔයා සතුටින් ඉන්නවා දකින්න ආස කරපු නිසා.

එහෙම ගිය සමහරක් දවස් වලට අපි දෙන්න රේල් පාර දිගේ ඇවිදගෙන යනව. ඔයාට ආසයි රේල් පීල්ල උඩින් ඇවිදගෙන යන්න. ඔයා එහෙම යනකොට මම ඔයාගෙ අතින් අල්ලන් ලඟින්ම ඉන්නවා. ඔයාව වැටෙයි කියල මට බයයි. එහෙම යනකොට ඔයාට නිකමට වත් හිතුනද අපි දෙන්නගෙ ආදරෙත් මේ රේල් පීලි දෙක වගෙයි කියලා. රේල් පීලි දෙක ඈතදි එකතුවෙනව වගේ පෙනුනත් එතනට ගිහින් බලනකොට ඒ එකතුවීම තව දුරයි. හැබැයි අන්තිමට ඒ පීලි දෙක කවදාවත් එකතු වෙන්නෙ නෑ. අපේ ආදරෙත් දැන් ඒ වගේ වෙලා නේද ?

ඔයාට මතකයි නේද ඉස්සර අපි දෙන්න බයිසිකලේ ඩබල් දාල යන හැටි. ඔයාට ආසයි මාත් එක්ක මුළු දවසම උනත් එහෙම යන්න. මාත් ආසයි. ඇයි මට ඔයාගෙ ලඟින් එන සුවඳ හොඳට දැනෙනවනෙ. මම අදත් ආසයි ඒ සුවඳට. ඔයාට ඕනෙ හෙමින් යන්න. ඒ ගොඩක් වෙලා මා ලඟට වෙලා ඉන්න තියෙන ලෝභකමට. මට ඕන හයියෙන් යන්න. ඔයා ලඟටවෙලා ඉන්න ආස නැතිව නෙමෙයි. ඔයාට මගෙ වැඩ පෙන්නන්න. එහෙම ගිය හැම දවසකම ඔයා ගොඩක් දුක්වෙනවා මගෙ කකුල් රිදෙනව ඇති කියල. ඒ වගේ වෙලාවට ඔයා කියනව ඉන්නකො මම ඔයා ලඟට ආවම ඔයාගෙ කකුල් දෙක අත ගාන්නම් කියල. ඒ වෙලාවට මට ඔයා ගැන පුදුම ආදරයක් හිතෙන්නෙ. දෙයියනේ මා වෙනුවෙන් ඒ තරම් ආදරයක්.

ඉස්සර මතකද අපි දෙන්න කොහෙහරි යන දවසට මම ඔයා එනකම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නව. ඔයා හැමදාම පරක්කුයි. ඒ මට ආදරේ නැති නිසා නෙමෙයි කියල මම දන්නවා. ඔයා එනකම් බලං ඉන්න හැම තප්පරයක්ම කල්පයකටත් වඩා ලොකුයි කියලයි මට හිතෙන්නෙ. ඔයා පරක්කු වෙන්න වෙන්න හිතට බයයි. සමහරක් දවස් වලටනම් මට පොඩ්ඩක් කේන්ති යනවත් එක්ක. ඒත් ඈතදිම ඔයාගෙ ලස්සන හිනාව දකිනකොට ඒ සේරම අමතකයි.

ඔයා දන්නවද ඔයා මගෙන් ඈතට ගිහින් අදට අවුරුද්දක් වෙනවා. සතුටින් සමරන්න පුළුවන් දෙයක්නම් නෙමෙයි. ඔයා නැතිව ගෙවුන මේ අවුරුද්දක කාලය මම ජීවත් නොවුන තරම්. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා කියන්න , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා කියන්න , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා කියන්න , ඔයාගෙ ඔළුවෙ කැක්කුමට වෙලාවට බෙහෙත් ගන්න කියන්න අද කවුරුවත්ම මා ලඟ නෑ. ඔයා නැතිව මම ගොඩක් අසරණ වෙලා කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ? මම තාමත් ඔයා එනකම් මග බලන් ඉන්නවා. හරියට ඉස්සර ඔයා බස් එකට එනකම් බලන් ඉන්නවා වගේ. තාම ඔයා ආවෙ නෑ. තරහක්නම් නෑ. ඒත් හිතට බයයි ඔයා නෑවිදින් ඉඳීවි කියල

ඒත් තාම මේ ඇස් දෙක මග බලන් ඉන්නවා ඔයාගෙ හිනාව දකින්න. ඔයාගෙ හිනාවට පුළුවන් මට මුළු ලෝකයක්ම අමතක කරවන්න. ඔයාට මේ තරම් ආදරේ කරන මාව මගදි දැක්කම ඔයා අහක බලන් යනකොට හිත කොයි තරම්නම් හඬා වැටෙනවද ? ඒත් තුන් හිතකවත් තරහක් නෑ.

ඔයාට එන්නම වෙනවා.
එන දවස වැදගත් නෑ
එන බව පමණක් කියන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=386652

Bookmark and Share

24 comments:

mahesh said...

අවුරුද්දක් ගත නොඋනත්, මගේ කතාවත් මේකමයි සහෝ, මමත් ඒ දවස එනකන් බලාගෙන ඉන්නවා, එයි, අනිවාර්යෙන්ම, ආදරේ කියන්නේ ලොකු කැපකිරීමක්, අපි ඒ කැප කිරීම කරමු.සමහරවිට අපි වාසනාවන්ත වෙයි, එහෙම නොවුනත් අපිට සතුටු වෙන්න පුලුවන් වෙයි ඇය සතුටින් නිසා,

චමි.දේ.වා. said...

බලනකොට ඔක්කොමගෙ කතා එකවගේනේ.ඈ නාවත් ඇගේ මතකය ලඟ තියනවනේ....ඒ මතකයත් එක්ක ජීවත් වෙමු......

තාරක සමරණායක said...

දවසක් තියේවී වෙන්වුනු ඔබ මා
නැවතත් මුණ ගැහෙනා
කඳුලක් තියේවී මා ලඟ එදිනේ
ඔබේ නමින් ගලනා

දුකා said...

atheetaya sihinayak pamanai kiyalaa hita hada ganna male . . .

චතුරංග රූපසිංහ said...

හ්ම් මොනව ලියන්නද මන්ද?

ආදර කතාව said...

ඔයාගේ කතාවයි මගේ කතාවයි අතරේ තියන එකම වෙනස තමා ඔයාට එයාගේ ආදරේ එක දවසකට හරි ලැබිල තියන එක. කොහොම වුනත් ඔයාගේ බ්ලොග් එක කියවන මම හැමදාම computer එක off කරන්නේ ඇස් දෙකේ කදුලු පුරවගෙන. ඔයා හැමදාම මාව අඬවනව සහෝදරය. මුලු හදවතින්ම සුභපතනව ඒ ආදරේ හැමදාටම ඔයාටම අයිති වෙන්න කියල.

Chandana S. Jayakody said...

මිත්‍රයා....

ආදරේ ලබනවා වගේ ම ආදරේ කරලත් සියුම් උත්තරීතර සතුටක් ලබන්න පුළුවන්.
ඔබේ සටහන් අතිශයින් සංවේදීයි... හදවතේ සියුම් තැන් පිරිමැද ජීවිතය ගැන කියා දෙනවා ට ස්තුතියි.

varuna said...
This comment has been removed by the author.
Varsha said...

මගේ කතාවත් ඔබේ කතාව වගේමයි. මමත් අවුරුදු පහකටත් වඩා ආදරය කලා. ඒත් අන්තිමට මට ඉතුරු උනෙත් හිස් බවක් විතරයි. දැන් ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. කවදාවත් ආයෙ වෙනත් කෙනෙකුට ආදරය කරන්නත් බැහැ. හැමදෙයක්ම කාලයට ඉඩ දීල ඔහේ බලාගෙන ඉන්නවා....

ඉන්දික said...

හිත අතීතෙට ඇදිල යනව සහෝදරය මේක බැලුවම..මම නම් ඒ ආදරය දිනාගෙන ජීවිතේ ඉදිරියට යන්න වාසනාවන්ත වුනා..
මට වගේම ඔයාල හැමෝටමත් ඒ වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.!!

සුදු මහත්තයා said...

@ Mahesh

මමත් හිතන්නෙ ඒ විදිහටමයි. මම එයාගෙන් අන්තිමට කරපු ඉල්ලීමත් ඒකමයි. එයාගෙ සතුට හැමදාම මගේ සතුටයි. සමහරවිට එයා කවදාවත් මා ලඟට එන එකක් නෑ. ඒත් එයා මේ ලෝකෙ කොහෙහරි සතුටින් ඉන්නවනම් එදාට මටත් සතුටුවෙන්න පුළුවන් වෙයි.

ගලා said...

මට අනුව ජීවිතය කියන්නේ ලැබීම්,නොලැබීම් අතර දෝලනය වෙන දෙයක්.ජීවිතයම ආදරය වූ කල,ආදරයම ජීවිතය වූ කල එයද ලැබීම් නොලැබීම් අතර දෝලනය වේ.ඉතින් මිතුර කෙදිනක හෝ ඒ ආදරය ඔබට මුණගැහෙනු ඇත,ඔබගේ කතාව කියවූ පසූ මාගේ හදවත පැවසුවේ එයමය

පබලු said...

ඔය ගෙවපු එක අවුරුද්දකට මෙච්චර දුක නම් මල්ලි මම ගෙවන මේ තුන්වෙනි අවුරුද්දට මට.......... ?
ගෙවපු එකම එක දවසක වත් මට අමතක කරන්න බැරි උන ආදරයක් තාමත් මගේ හිතේ මට රිද්ද රිද්ද තියනවා,
අද ඔයාගෙ බ්ලොග් පෝස්ට් එක දැක්කම ඒ දුක වැඩි උනාද නැත්නම් අතීතය මතක් කරල හිතට සියුම් සතුටක් ලැබුනද කියලත් හිතෙනවා.
කොහොම උනත් ලස්සනට ලියල තියනව සුදු මහත්තයෝ..
දුකක් ගෙන ආ......
අතීතය ලග......
සිත තවම නැවතිලා.....
අඩනවා.......

සුදු මහත්තයා said...

@චමී.දේ.වා.

හ්ම්ම්. මටනම් හැමදාම ජීවත් වෙන්න වෙන්නෙ ඒ මතකය එක්කම තමා.

@ තාරක සමරණායක

දවසක් තියේවී වෙන්වුනු ඔබ මා
නැවතත් මුණ ගැහෙනා
එහෙම දවසක් එනකම් මම මග බලාගෙන ඉන්නවා. ඒත් සමහරවිට ආයෙ එහෙම දවසක් උදාවෙන එකක් නෑ.

සුදු මහත්තයා said...

@ දුකා අයියෙ එහෙම කරන්න පුළුවන් උනානම් කොයිතරම් දෙයක්ද ?

@ ආදර කතාව. ඔයත් ආදරේ දුක දන්න නිසා වෙන්න ඇති ඔයාට එහෙම වෙන්නෙ. මොනව උනත් ඔයාටත් හොඳ ආදරයක් ලැබෙන්න කියල මම සුභ පතනවා

සුදු මහත්තයා said...

@ චන්දන බොහොම ස්තූතියි අගය කිරීම් වලට.

@ වර්ෂ හ්ම්ම්. කාලය හැමදෙයක්ම සුභවාදී විදිහට විසඳාවි කියල මමත් හිතනවා

සුදු මහත්තයා said...

@ ඉන්දික බොහොම ස්තූතියි

@ ගලා හ්ම්ම්ම්

@ පබලු ඔව් අක්කෙ. මටත් හිතෙන්නෙ කොයිතරම් දුකක් උනත් ඒ අතීතය මතක් කරල සියුම් සතුටක් ලබන්න බැරිකමකුත් නෑ

Poo said...

මාර දුකක් හිතට දැනෙනවා. මගෙ ආදරෙ මගෙන් අැත් වුනෙ පැය ගානකට විතරයි. එත් මට දැනුන දුක..... ඔයා කවදාවත්ම හිතන්න එපා එයා ආයෙ එන එකක් නැ කියලා. එයා එනවාමයි....
කියන්න දේවල් ගොඩක් හිතට එනවා. එත් ගලපන්න බැ.
බලාපොරොත්තු නැති කර ගන්න එපා.

සුදු මහත්තයා said...

බලාපොරොත්තුනම් අහස උසට. ඒත් කවදහරි ඒවත් සුන් උන දවසක ඒ දුක කොහොම දරා ගන්නද මන්ද

Express (දිලංක මාධව) said...

උඹ ලිනන ලිවිල්ලනම් එල.උඹගේ ලව් ස්ටෝරිය නිසා හැමදාම මගේ ඇස් වලට කඳුලක් උනනව....

ගිටාරයේ අපි said...

දුක හිතේනවා අමතක කරපන් හිතට ගනින් මතකේ විතරක් තියා ගනින්

මධු වීරකෝන් said...

ඇත්තටම ආදරේ කරාමනෙ ඔය ඔක්කොම ප්‍රශ්න...

දාලා ගිය අය ගැන හිතමින් දුක් වෙන්න එපා
අනගතෙ සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න...
සුභ පැතුම්...!

nisha said...

හොදයි, දුකයි, මේ වගේ සින් උන එකෙක්ට දැනෙනවා වැඩියි.සුභ ගමන්,
නිශාන්ත

Anonymous said...

සුදා බූට් එකක් කාලනේ....බලං යනකොට බං සුදා මේ ලෝකේ බූට් නොකන මිනිහෙක් නැහැනේ.....:O ළපළු....

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails