අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

අයියෝ... මාර වැඩේනෙ. සුද්දට පොඩි දෙයක් අමතක උනානෙ. පහුගිය දවස්වල සුද්දගෙ අයිය මැරි කොලානෙ. මිනිහත් ඉතින් කෙලවගත්ත. ඒකෙ වැඩ අස්සෙ සුද්දට බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් නැති උනානෙ. මොනව කරන්නද ? මෙන්න බොලේ කටු සටහනේ අවුරුද්දෙ උපන්දිනෙත් ගෙවිල ගිහින්. පරක්කු වෙලා හරි අපි ඒක සමරමු නේද ? ඉතින් ඒකයි කට්ටියටම පරණ කේක් කන්න එන්න කිව්වෙ. නැතුව පුස් කාපුවා කන්න එන්න කිව්ව නෙමෙයි.

ඔන්න මම කේක් කපනවා. කට්ටිය අත්පුඩි ගහන්ටෝ....

කන්න විතරක් නෙමෙයි ඉතින් බොන්ඩ දෙයකුත් තිබ්බ නම් මරු නිසා මේන් මේකකුත් ගෙනාවා. බොන්නෙ නැත්නම් ඉරිසියාවට බනින්නෙපා හොඳේ... අම්මට සිරි. කාන්තා පාර්ශවයයි පොඩි ලමයි ටිකවයි අමතක උනාද ? නෑ නෑ බයවෙන්නෙපා මෙන්න ඔයාලට. මටත් මෙයින් එකක්ම හොඳා.කැමති එකක් අරගෙන බොන්නකෝ. ලැජ්ජවෙන්නෙපා. අරගෙන ඇතිතරම් බොන්න.
මේ ඒක නෙමේ , සුද්දට කෙල්ලෙක් හම්බුන නිසා මේ පැත්ත අමතක උනා කියල වැරදියට හිතන්නෙපා හරිය. අලුත් විස්තරත් එක්ක හෙට අනිද්දම ආයෙ එන්නම්කො මේ පැත්තට. මට ජයවේවා....!

Bookmark and Share

ඔබ, ඇය දෙවුර මතින්ම දෙගොඩ තලා ගිය කඳුළු ගඟ මම වෙම්, දෙවුරේ හැපි හැපි මේ කඳුළු ගඟ තව දුරටත් කෙසේ ගලම්ද ? වසන්තයද නිමාවී වෙන්ව යන්නට කාලය එලඹ ඇත. සිතින් වෙන් නොවී ගතින් වෙන් වෙලා යමු. ඉතින් හමු නොවේ යලි අප

ඔබ එක ඉවුරකි
ඇය එක ඉවුරකි
කඳුලු ගඟකි මා ....
දෙගොඩ තලා ගිය
කඳුලු ගඟකි මා....
දෙවුරෙ හැපි හැපි
දෙවුරේ රැඳි රැඳි
තව දුර යන්නට බෑ
තව දුර යන්නට බෑ......

වසන්තය නිමාවී
මගෙන් ඔබ දුරස් වී
ඉතින් හමු නොවේ යලි
ගතින් වෙන් වෙලා යමු...

නුවන් පෙර බලා ඉමි
නෙතින් ඔබ වෙලා ගමි
ඉතින් හමු නොවේ යලි
සිතින් වෙන් නොවී...
සිතින් වෙන් නොවී ඉමු......


Oba Eka Iuraki - Chamara Weerasinghe

ඔබ එක ඉවුරකි - චාමර වීරසිංහ

Bookmark and Share


ඔන්න ගොඩ කාලෙකට පස්සෙ පුංචි කතාවක් කියන්න හිතුනා. ඊට කලින් ඉතින් මතක් කරන්න ඕන කට්ටියක් ඉන්නවා. ඒ තමයි මම උන්නද මලාද කියල හොයල බලපු මගෙ අන්තර් ජංජාල යාළුවො ටික. ෆේස් බුකියෙන් මැසේජ් එකක් එවලා එහෙමත් නැත්නම් ඊමේල් එකක් එවලා එහෙමත් නැත්නම් එස්.එම්.එස් එකක් එවලා මා ගැන හොයල බලපු මගේ යාළුවන්ට ගොඩක් ස්තූතියි.

ඉතින් මේකයි කතාව. මේක උනේ බල්ලෙක්ට. ඒ කාලෙ හිටපු ඒ කිව්වෙ ගොඩක් ඉස්සර හිටපු බල්ලෙක්ට තමා මේ සීන් එක උනේ. ඔන්න දවසක් මේ බල්ලා තාප්පයක් ලඟ චූ කර කර හිටියලු. එක පාරටම තාප්පෙ කඩාගෙන වැටිල මේ බල්ල මැරුනලු. අනෙක් බල්ලන්ටත් මේ වැඩේ ආරංචි උනාලු. ඉතින් එදා ඉඳන් හැම බල්ලම පුරුදු උනාලු තාප්පයක් ලඟ චූ කරන්න කලින් කකුලෙන් ගහල බලන්න. ඒක පුරුද්දට ගිහින් තමා දැන් හැම බල්ලම චූ කරන්න කලින් අන්ඩ උස්සන්නෙ.

ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ... :D :D

වචන සැර වැඩිනම් සොරි වෙන්න ඕන.

Bookmark and Share

මීට අවුරුදු හතරකට කලින් මේ මාසෙ දවසක අහම්බෙන් අපි මුණගැහුන මතකද ඔයාට. එදා ඉඳන් අපි අතර ඇතිවෙච්ච ඒ බැඳීම ආදරයකට හැරෙන්න මහ හුඟක් කල් ගියේ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ ආදරේ ඉස්සරහ අපි දෙන්නම ගොඩක් අසරන උනා. එහෙමෙයි කියල ඒක හිත ඇතුලෙම හංගගෙන ඉන්න අපි දෙන්නටම බැරි උනා. අහස තරම් අනන්ත ඒ ආදරේ ඉස්සරහ අපි දෙන්න පරාද උනා.

හිතටත් හොරෙන් අත අකීකරු වෙලා යවන එස්.එම්.එස් එකක අපේ ආදරේ නොලියඋනා නෙමෙයි. මගෙ පුංචි වෙනසකටත් ඔයා දවස් ගනන් නොකා නොබි අඬපු තරම් , ඔයාගෙ වෙනස්වීම් දරා ගන්න බැරිව මම හිතින් අඬපු තරම් අපි දෙන්න තරම් කවුරුවත් දන්නෙ නැතිව ඇති. ඔයා ඒ විදියට මාත් එක්ක තරහවෙලා හිටපු දවසක මගේ අකීකරු හිතින් ඔයාට මේ සිංදුව මැසේජ් කරා මතකද ?

සිනාසෙන්න මට අවසර දෙනු මැන මාහට
සිනාසෙන්න ආසයි
හඬන්න අවසර දෙනු මැන මාහට
හඬන්න මට ආසයිඒ ඔබ වෙනුවෙන් පමණයි

මේ විදියට කාලය ගෙවිල ගිහින් අපේ ජීවිතේ ඒ ලස්සනම දවස උදා උනා. 2007 ජූලි මාසෙ 14 වෙනිදා උදේ ඔයත් ඔයාගෙ හිතේ හංගගෙන හිටපු ආදරේ එලියට දැම්මා. දැන් ඒ දවස උදාවෙලා අවුරුදු තුනක් වෙනවා. කාලය ඔයාවත් මගෙන් හොරකම් කරගෙන හරි ඉක්මනට ඉගිලිලා ගිහින්. හරියට ඒ දවස අද ඊයෙ වගෙයි. මා වෙනුවෙන් හූල්ල හූල්ල අඬපු ඔයා අද මගෙ ජීවිතේට කඳුලක් ඉතුරු කරල මගෙන් ගොඩක් ඈතට පියඹලා ගිහින්.

මම දන්නවා ඔයා ආයෙ එන්නෙ නෑ. ඒ හැමදෙයක්ම අතීතෙට එකතුවෙලා. ඒත් ඒ අතීතයෙ ජීවත් වෙන්න මම ආසයි. ඒක බොලඳ කමක් වෙන්න ඇති. ඒත් ඒ බොලඳ කමටත් මම මහ හුඟක් ආදරෙයි.....

සිනාසෙන්න මට අවසර දෙනු මැන මාහට
සිනාසෙන්න ආසයි
හඬන්න අවසර දෙනු මැන මාහට
හඬන්න මට ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි

අතීතයේ එක දවසක හමුවී
අපි දෙඩුවා මතකයි
පුංචිම දේටත් විරසක වීලා
අපි හැඬුවා මතකයි
කියාගන්න බැරි දහසක් සිතුවිලි
සිත පෙලුවා මතකයි ....

දුටුව පලමුදා වගේම තාමත්
සිතට ඔබව සොඳුරුයි
ඔබ ලඟ ඇත්නම් නිතර දකින්නට
මගේ ලොවම සොඳුරුයි
ගෙවෙන අදට වැඩිය එලඹෙන හෙට
දවස අපේ සොඳුරුයි....


මගෙ ජීවිතේට සතුට අරන් ඒ පුංචි සුරංගනාවී ඇවිත් (2007/07/14) අදට අවුරුදු තුනක් වෙනවා. ඔයා මගෙ ලඟ හිටියෙ බොහොම පුංචි කාලයක් උනත් ජීවිත කාලෙටම විතරක් නෙමෙයි ආත්ම ගානක් යනකම් මට ඔයාගෙ ඒ ආදරේ සුවඳ දැනෙවී.

Bookmark and Share


රාග ද්වේෂ මෝහ නැමැති කෙලෙස් වලාවෙන් වැසී ගිය සිත් නිවී පහන්වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට....!

`````````````````````````````````````````````````````````````````````````````````````````````````````
හංසිව අමතක කරන්නෙ කොහොමද ඉතින්. ඔන්න ඒ නිසා එයා එවපු වෙසක් කාඩ් එකක්ම දැම්මා. ;)

Bookmark and Share


හුඟ කලෙකින් හමුවී
සෝ ලතැවුල් ...
අදත් විඳින්නේ මා පමනද ...?

මේ පාරත් නිවාඩුවට ගෙදර ආවම මට වෙනද වගේම ඔයාගෙ අම්මව මුණ ගැහුනා. විස්තර කතා කර කර ඉඳල අන්තිමට අපේ මාතෘකාව ආවෙ ඔයා ගැන.

" දැන් ඉතින් වැඩට යන්නෙත් නෑනෙ. කාවහරි හොයල බන්ඳලවත් දෙන්න ඕන....."

මගේ හදවත එක පාරටම නැවතුනා වගේ මට දැනුනා. හිනාවෙලා ඒක අහන් ඉන්න තරම් මට හයියක් තිබුනෙ නෑ. ඔයාගෙ අම්මටත් ඒක තේරුණාද කොහෙද. ඊට දවස් දෙක තුනකට පස්සෙ ඔයාලගෙ ගෙවල් පාරෙන් යන ගමන් ඔයාවත් නොබල යන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.

" එන්න ගෙට... "

ඔයාගෙ ආදරණීය ආරාධනාව කොහොම අහක දාන්නද ? මීට මාස දෙක තුනකට කලින් මාව මරාගෙන කන්න හදපු ඔයාම මට ගෙට එන්නත් කියනවා. මමනම් හිතුවෙ කොස්සකුත් අරන් දුවනකම් මට ගහයි කියල. එහෙම හිතුනට මම දන්නවා ඔයා මට එහෙම කරන්නෙ නැති බව.

ගොඩක් දවසකින් හම්බුන නිසා අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා.

" ඔයාට ඔලුව කැක්කුමයි ද ? "

තාමත් එහෙනම් ඔයාට මාව තේරුම් ගන්න පුළුවන්. මොකද මගෙ මේ කරුම ලෙඩේ ගැන අම්ම තාත්ත ඇරුනම හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ ඔයාට විතරක්ම උන නිසා.

" ඉන්න මම තෙල් ටිකක් දෙන්නම් ඔලුවට දා ගන්න.... "

" එපා.... "

" දාගන්නවා..."

" එපා කිව්වනෙ.. "

" ඉන්නවකො මම ගෙනත් දෙන්න.. "

මගේ හිත මටත් හොරෙන් අතීතයට දුවගෙන ගියා.....

එදත් මම මේ වගේම ඔලුව කැක්කුම හැදිල මේ වාඩිවෙලා ඉන්න පුටු පේලියෙම පුටුවක වාඩිවෙලා හිටිය මට මතකයි. එදත් ඔයා මේ විදිහටම මට බැන්න ඔලුවට තෙල් ටිකක් දා ගන්න කියල. ඊට පස්සෙ තෙල් බෝතලෙත් අරන් ආපු ඔයා නැවතුනෙ මගෙ ගාව.

" ඉන්නව දා ගන්න බැරිනම් මම දාන්නම්..."

ඔයා මගෙ ලඟට ඇවිත් මාව ඔයාගෙ පපුවට තුරුළු කරගෙන ආදරෙන් මගෙ ඔලුව අත ගාපු හැටි මට තාම මතකයි. පොඩි එකෙක් වගේ ඔයාගෙ පපුවට තුරුළු වෙලා ඒ සුවඳ විඳින්න මම තාම ආසයි. මට ඒ වෙලාවට දැනෙන්නෙ මම මගේ අම්මගෙ උණුහුමට වෙලා ඉන්නව වගේ හැඟීමක්. ඒ කිරි සුවඳ ඔයා ගාවත් තියෙනවා. ඔයා මට මේ තරම් ආදරයක්. මට හිතා ගන්නවත් බෑ. අන්තිමට තෙල් දාල ඉවරවෙන කොට ඔයාව මගෙ ඔලුවෙ තෙල් වලින් නෑවිලා.

" ආ... දාගන්න "

ඔයාගෙ හඬින් මම හීන ලෝකෙන් ඇහැරුණා

" ඉස්සරනම් ඔයා තෙල් බෝතලේ දීල නිකන් ඉන්නෙ නෑ. දාල අත ගානවත් එක්ක.... "

ඔයා අහිංසක විදිහට හිනා උනා විතරයි. අපිට ආයෙත් අතීතෙට යන්න ඉඩක් ඇත්තෙම නැද්ද ?

"කමක් නෑ එපා.... "

මට ගොඩක් දුක හිතුනා. ඔයාටත් ඒක තේරිලා වෙන්න ඇති. ආයෙ මට බල කරේ නෑ.

කතා නැතිව අපි දෙන්න ගොඩක් වෙලා හිටියා. ඒ කාලෙ පුරාවටම මම කලේ ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටපු එක.ඔයාගෙ ඇස් දෙකේ කියාගන්න බැරි මොනවදෝ හිර වෙලා තියෙනවා මම දැක්කා.

" ඔයාට අපෙ අම්මව හම්බුනාද ? "

" ඔව්.. අම්ම මොකෝ කිව්වෙ ගෙදර ඇවිත්... "

" මොකුත් නෑ ඉතින් ඔයාව හම්බුනා කිව්ව.. මාව කාව හරි හොයල බන්ඳලා දෙන්න ඕන කිව්වම ඔයාගෙ මූණ දෙක උනාලු... "

මම ඔයත් එක්ක හිනාවෙන්න උත්සහ කරා..

" අම්මට දුක හිතුනලු ඔයාගෙ මූණ දැක්කම. ඒ නිසාම ආයෙ ඒ ගැන මොකුත් කතා කරේ නෑ කිව්වා.... "

" ඇත්තටම එහෙම උනාද ඉසුරු..."

" වෙන්න ඇති...."

මම අහක බලාගෙනම ඔයාට උත්තර දුන්නා. ඔයාගෙ මූනෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියා.

" ඉසුරු සීයගෙ දානෙ ..... තියෙනවා. ඔයා එන්න. මට වෙන කරන්න දෙයක් නෑ ඉසුරු. මම අයියව කසාද බඳිනවා.... " (සිනාසෙන්න මට අවසර දෙනු මැන 3 කොටස බලන්න)

ගෙදර ගියාට පස්සෙ ඔයා මට ඒ විදිහට එස්.එම්.එස් එකක් එව්වා....

ඔයා ගැන මගෙ හිතේ තිබිච්ච බලාපොරොත්තු කඳුලු වල දියවෙලා ඇස් දෙකෙන් කඩාගෙන වැටුනා....

වැටෙන කඳුලු පිස ලන්නට
හිස අත ගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්.....
දුක තියාන.....


එතනින් අපේ හමුවීම නැවතුනේ නෑ. අපි ආයෙත් අපිට ලං උනා. යාලුවො විදිහටද එහෙම නැත්නම් වෙන කවුරුහරි විදිහටද කියන්න මම දන්නෙ නෑ.

" මම ඔයාගෙන් පොඩි බඩ්ඩක් අහන්නද ...? "

ඒ වගෙ අපි හම්බෙච්ච දවසක මම ඔයාගෙන් ඇහුවා.

" හ්...ම් "

" ඔයා මීට මාස දෙක තුනකට කලින් මට කිව්වා නේද ඔයා අයිය කෙනෙක් එක්ක යාලුයි එකට ට්‍රේන් එකේ යන එක්කෙනෙක් එක්ක කියලා...."

" ඇත්තටම එහෙම එකක් තිබ්බෙ නෑ නේද ? "

" නෑ ඉසුරු. මම බොරු කිව්වේ.. "

" ඇයි එහෙනම් ඒ බොරුව පිටින් දාල මට බැන්නෙ... "

"මම එහෙම කරේ ඒකෙන්වත් ඔයා මට ආදරේ කරන එක නවත්තන්න හිතාගෙන....."

" ඔයා හිතනවද එහෙම කරා කියල මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවෙයි කියලා...."

මගේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් ඔයා ලඟ නැතිවෙන්න ඇති.

තවත් දවසක.....

" ඉසුරු අයියත් දානෙට එනවා. දන්නවනෙ ඔයා ඉතින්.. අනේ එයා මාත් එක්ක ඉන්නව දැකල හිත රිද්ද ගන්නෙපා..... "

ඔයා කියන්නෙ හරියට මම හිතල හිත රිද්දවගන්නව වගේ. කිසිම දෙයක් කියන්නෙ නැතිව මම ඔහේ බලාගෙන හිටියා.

" මම එන්නෙ නෑ බණ ගෙදර..."

" ඔයා එන්න.. ඔයා එන්නම ඕන. මම බලන් ඉන්නවා... "

" ඒ උනාට හරි නෑනෙ. ගමේ මිනිස්සු මොනවද නොහිතන්නෙ....."

" ඔයා නාවොත් තමා ගමේ අයට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ....."

" මට බෑ. මම එන්නෙ නෑ. සොරි තරහ වෙන්නෙපා... "

" අනේ එන්න. මට ආදරේනම් එන්න..."

එතනින් එහා ඔයා එක වචනයක් වත් කිව්වෙ නෑ. ඔයා දන්නව ගානට මාව හිර කරගන්න. තාමත් ඔයා එදා වගේමයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

බණ ගෙදරට දානෙ ගෙදරට මම ආවෙ හිතකින් නම් නෙමෙයි. ඔයා බලන් ඉන්න බව දන්න නිසා. ආ පයින්ම යන්න හදනකොට ඔයා කිසිදෙයක් කියන්නෙ නැතිව බලාගෙන උන්නා.

මීට අවුරුදු තුනකට විතර කලිනුත් ඔයාලගෙ ගෙදර මේ වගේම දානෙ ගෙයක් තිබුනා. එදා ඔයා අතින් බීම එකක් ගත්තෙ නෑ කියල ඔයා එක දිගට ඇඬුව දවස් දෙකක්ම. අතීතයේම ජීවත් වෙන්න තිබුණනම්....

අපේ අන්තිම හමුවීම.....

" මට ඔයා තවදුරටත් යාලුවෙක් විතරයි ඉසුරු....."

" අයියා මට ගොඩක් ආදරෙයි. ඉස්සර මොනදේ උනත් මම දැන් ඒ ආදරේට ආදරෙයි...."

" වහිනවා නේද ? ඉන්න මම ඔයාට මගෙ කුඩේ දෙන්නම්......"

" ඔයාට කොහොමද මම ආපහු දෙන්නෙ....."

" එපා ඒක ඔයා තියා ගන්න...."

මට ඔයාව තේරුම් ගන්න අමාරුයි. මීට ටික දවසකට කලින්....

" ඉසුරු ඔයාගෙ ෆෝන් එකේ මගේ ෆොටෝ තියාගෙන ඉන්නෙපා....."

" ඇයි...?"

" නෑ ඉතින් ඒව දැක්කම ඔයාට දුක හිතෙනවනෙ...."

එදා එහෙම කියපු ඔයා අද මට ඔයාගෙ කුඩේ තියා ගන්න කියනවා. ඔයා හරි පුදුමයි. ගොඩක් වෙනස් වෙලා. ඔයාට මාව යාලුවෙක් විතරක් උනාට මට කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතන්න බැරි වෙයි. ඔයා නොදන්නවත් ඇති ඔයාගෙන් මට නැති උනේ කෙල්ලෙක්ගෙ ආදරයක් විතරක් නෙමෙයි.මට නැති උනේ අම්ම කෙනෙක්ගෙ ආදරයක්. මට බෙහෙත් අරන් දෙන්න ඔය කකුල් දෙක රිදෙනකම් ඉස්පිරිතාලෙ පෝලිම් වල හිටගෙන හිටපුවා , ඔලුව කැක්කුම වෙලාවට මාව ඔඩොක්කුවෙ තියාගෙන ඔළුව අතගාපු හැටි , මා ගැන මටත් වඩා හොයල බලපු හැටි අමතක කරන්නනම් මට මැරිල උපදින්න වෙයි. මොනව උනත් මම ඔයාගෙ සතුට වෙනුවෙන් ඔයා කැමති ඕනම දෙයක් කරන්නම්. මොකද ඔයාගෙ සතුට දැකල මටත් කවදහරි සතුටුවෙන්න පුළුවන් නිසා. හැමදාම පැතුවෙ ඔයාගෙ සතුට විතරක්ම නිසා.

ඔබගේ යහපත දියුණුව සැලසේ නම්...
මගේ දිවිය හැර අනෙක් සියළු දේ
කැපකෙරුමට මා සූදානම්...

Bookmark and Share




අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ කිව්වෙ අපි ඒ ලෙවල් කරන කාලෙ වෙච්ච දෙයක්. දැන් ඔන්න ඒ ලෙවල් විභාගෙටත් ලඟයි. කරපු මෙලෝ වැඩකුත් නෑ. දැන් තමයි ඉතින් නැට්ට ගිනි අරන් තියෙන්නේ. මේ කියන දවස් වල මගෙ හිතෙත් මල් පිපිල. වෙන කා ගැනවත් නෙමෙයි ඉතින් හංසි ගැන තමා ඉතින්. ඒ කියන්නෙ පස්සෙන් යන කාලෙ. අපි දෙන්නම ෆිසික්ස් වලට ක්ලාස් ගියේ එකම සර් ලඟට. හැබැයි දවස් දෙකකට ගියේ. එයා සෙනසුරද මම ඉරිදා. දැන් එක්සෑම් එකට හොඳටම ලඟයි. සර්ට අපි ගැන දුක හිතිලද කොහෙද අපිට පුනරීකෂණ පංතියකුත් දැම්ම. හැබැයි ක්ලාස් එක තියෙන්නෙ රෑට. ඉතින් හංසිගෙ අම්ම හංසිව එවන්නෙ මම එනවනම් විතරයි. හංසිගෙ යාලුව එන්නෙ හංසි එනවනම් විතරයි. ඒ කියන්නෙ මම ක්ලාස් ගියෙ නැත්නම් තව දෙන්නෙක් එන්නෙ නෑ. මාත් ඉතින් ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්ව වගේ හැමදාම ක්ලාස් යනවා. අපේ සෙට් එකේ ගොඩක් හිටිය. අතුකෝරලයයි ගෝනයි තමා ඉතින් එකටම ඉන්න උන් දෙන්න. සර් කියන්නෙත් අපේ බොක්කෙ ෆිට් එක තමා ඉතින්.

ඔන්න දවසක් අපි ක්ලාස් ගියා. මායි හංසියි එකටමයි ක්ලාස් එකට ගියෙත්. ක්ලාස් තියෙන්නෙ සර්ගෙ ගෙදර. අපේ ක්ලාස් එකට කලින් තව ක්ලාස් එකක් තියෙනව පොඩි උන්ට. ඉතින් අපි දෙන්න එදා ටිකක් වේලාසන ක්ලාස් එකට ගියා. තව ලමයි වගේකුත් හිටියා. මායි හංසියි ඉතින් සර්ගෙ ගෙදරට යන පාරට වෙලා හිටිය. ගේ තියෙන්නෙ ටිකක් විතර වත්ත මැද්දට වෙන්න. ඔය යන පාරෙ තියෙනවා ඇහැල ගහක්. එදා ඉතින් මුළු ඇහැල ගහේම මල් පිපිල ගහම කහ පාටයි. දැක්කම ඕන කෙනෙක්ට ආස හිතෙනවා. ඉතින් ඒ නිසාමදෝ කොහෙද හංසි මට කිව්වා අනේ මලක් කඩල දෙන්නකෝ කියලා. මාත් ඉතින් ලස්සන මලක් හොයල කඩල දුන්නා. කඩල දීල අනික් පැත්ත හැරෙනකොටම මෙන්න සර් අපි දෙන්න දිහා පන්ති ඇවිල්ලා උන්නු අනික් සෙට් එකයි සර් රුයි බලා ගෙන ඉන්නවා. හංසිත් මගේ දිහා බලාගෙන හිටපු නිසා සර් එනව අපි දෙන්නම දැක්කෙ නෑ.සර් ඉතින් මා දිහා කිංඩියට වගේ හිනාවක් දාල ගියා. සර් හිතන්නෙ නැතුව ඇති මම හිමිජ්ජා වගේ ඉඳගෙන කෙල්ලෙක්ට බැහැල ඇති කියලා.

හංසිව හොඳටම බයවෙලා. මොකද හංසිගෙ අම්මව සර් අඳුනනවා. කොහොමින් කොහොම හරි ක්ලාස් එක පටන් ගත්තා. මායි ගෝනයි අතුකෝරලයයි පුරුදු විදිහටම අන්තිම පෙලියෙ. ඔන්න දැන් සර් ආවා. මා දිහා බැලුවා. හංසි දිහාත් බැලුවා.

" මෙහෙ එනව මේ ඉස්සරහ පේලියට එනවා මට තමුසෙත් එක්ක කතාවක් තියෙනවා... "

" නෑ සර් කමක් නෑ. පස්ස හොඳයි...."

" මෙහෙ එනවකෝ. මට තමුසෙට කතා කරන්න ඕන. "

" නෑ සර් හරි මම දන්නව සර් කියන්න හදන දේ "

මම ඔය අස්සෙ හොරෙන් හංසි දිහා බැලුවා. කෙල්ල හොඳටම බයවෙලා වගේ. මුළු පංතියම හිනාවෙවී බලන් ඉන්නවා. කෙල්ල බිම බලාගෙන ඇඹරෙනවා.

" මේ එනවා ඉස්සරහ පේලියෙ ඉඩ තියෙනවා....."

" නෑ සර් ඕනෙ නෑ. මෙතනට හොඳට බෝඩ් එක පේනවා "

සර් ආයෙ මුකුත් කියන්නෙ නැතුව පාඩම පටන් ගත්තා. හංසි හොඳටම බය වෙලා වගෙ. වෙනදටනම් පන්තියෙදි මා දිහා හොරෙන් බලනවා. අද ඒව මොකුත් නෑ. පංති ඉවරවෙච්ච ගමන් කෙල්ල කඩාගෙන බිඳගෙන පංතියෙන් එලියට ගියා. වෙනදටනම් දෙන්න එකටමයි එලියට යන්නෙ. සර් දැන් බලන් ඉන්නවා මම එනකම්.

" මෙහෙ එනවා.. "

මාත් ගියා සර් ලඟට.

සර් ඉතින් වෙන මොකුත් අහන්නෙ නැතුව විභාගෙ ගැන අහල මාව යැව්වා. හැබැයි සර් පස්සෙ දවසක මගෙන් එයා ගැන හැමදේම අහ ගත්තා. මම ක්ලාස් එකෙන් එලියට බැහැල බලනකොට හංසි නෑ. කෙල්ල විදගෙන පාරටම ගිහිල්ලා.

" මම හොඳට බය උනා ඉසුරු..."

" ඒ මොකටද ? "

" ඒ මොකටද කියන්නෙ. සර් ඔයාට ඉස්සරහට එන්න කියනකොට මම නම් හිතුව ආයෙ ක්ලාස් ඇවිත් ඉවරයි තමා කියල... "

" අයියෝ ඕව ගනන් ගන්නෙපා. සර් එහෙම කරන්නෙ නෑ..."

මෙයා විතරක් නෙමෙයි මාත් බයේ හිටියේ. මොනව හරි උනානම් පංති යෑම කෙසේ වෙතත් මෙයා මාත් එක්ක තරහ වෙන නිසා. මොකද එදා එයා ඒ ගහ යට ඉඳගෙනත් කිව්වෙ මට ආදරේ කරන්නෙපා ඉසුරු කියන වචන ටිකම නිසා.කොහොමින් කොහොමින් හරි මම කෙල්ලගෙ බය ඇරල එක්කගෙන ආවා.

අද මම පංතිය ගාවින් යනකොට මම දැක්කා එදා වගේම ඒ ගහේ කහ පාටට ගහම පිරෙන්න මල් පිරිල තියෙනවා. පංතියත් තාම එදා වගේමයි. ඒත් අද ඒ ගහ යට ඉඳගෙන මල් කඩපු අපි දෙන්න දෙතැනක.

Bookmark and Share

කොටින්ගෙන් මේ රට බේර ගන්න අපේ හමුදාව එක එක මෙහෙයුම් කරානෙ. රිවි රැස , නියතයි ජය ,  ජය සිකුරු ඔය වගෙ එක එක මෙහෙයුම් කරානෙ. ඒ වගේ කරපු තවත් මෙහෙයුමක් ගැන තමයි අද කියන්න යන්නෙ. ඔපරේෂන් නයි හාමි. හැබැයි මේක කරේ හමුදාවෙන් නෙමෙයි. අපෙ අම්මයි මායි. ඔන්න අහගන්නකො අම්මයි මායි ඔපරේෂන් නයි හාමි කරපු හැටි.
 

ඊයෙ රෑ තිස්සෙම වැහැල උදේ බලනකොට හතර වටේම වෙල් යට වෙලා. පාරෙ බසුත් වැඩ නෑ. අද ඉතින් දවසම නිදියන්න තමා වෙන්නෙ. ඔහොම හිත හිත ඉන්නකොට පුංචි පහේ උවමනාවක් ආව. මාත් ඉතින් වැස්ස ටිකක් ඉවරවෙනකම් ඉඳලා එලියට බැස්සෙ හාවෙක් එහෙම අල්ලන්න කියල හිතාගෙන. කට්ටිය දන්නවනෙ මොකාද මේ හාව කියල. ඉතින් නිදහසේ හාවා අල්ලගෙන යනකොට මම දැක්ක අපේ ගේ අයිනෙ ගොඩ ගහල තියෙන ගඩොල් ගොඩ අස්සට මොකෙක්දෝ රිංගනවා. මාත් ටිකක් ලං වෙලා බැලුවා. ම්ම්ම්හ් සර්පයෙක්. නැට්ට විතරයි පේන්නෙ. මං ඉතින් ගෙට දුවගෙන ඇවිත් අම්මට කිව්ව අම්මෙ අන්න ගල් ගොඩේ සර්පයෙක් කියලා.( බයට නෙමෙයි දුවගෙන ආවෙ හොඳද )
 

පස්සෙ අම්මයි මායි ගෙදර ජනේලෙකින් එබිල බැලුව. අප්පට සිරි පත නයෙක්. අඩි හතරක් විතර දිගයි. ඔලුවෙ 'ප' යන්නත් එහෙම තිබ්බ. හැබැයි අර අනික් අකුරනම් තිබ්බෙ නෑ ඕං. දැන් ඉතින් මොකද කරන්නෙ. කොහෙන්ද මේ තරම් තඩි සතෙක් ආවෙ. හරිනෙ. මේ ගංවතුරින් අනාත වෙච්ච එකෙක්. වෙල යට උනානෙ. මේකගෙ ගෙයත් යට වෙන්න ඇති. දැන් මූ මේ හොයන්නෙ ඉන්න තැනක්. නැත්නම් වතුර පාරට ගහගෙන ආවද දන්නෙ නෑ. අනේ පව්. ටී.වී එකෙත් කතා කරන්නෙ ගංවතුරෙන් අනාත වෙච්ච මිනිස්සු ගැන විතරයි. සත්තු ගැන බලන්න කවුරුත් නෑ. පව් කියල නයාව ගෙට ගන්නයැ. මේකට මොකද කරන්නෙ...?
 

මරන්නද ? අපෝ නයි මරන්න හොඳ නෑ. නයා වයිර බැඳ ගන්නවලු.  ඔයාලට හිතෙයි මොන බොරු කතාද කියල. මම දැක්ක මේ ලඟදි ලංකාවෙ සර්පයො ගැන ඉහලම දැනුමක් තියෙන මහාචාර්යතුමෙකුත් කියල තිබ්බ ඒ කතාව බොරුවක් එහෙම එකක් නෑ කියල. එයා ඒ ගැන කරපු පර්යේෂණයක් ගැනත් දාල තිබ්බ. ඒත් මං ඇත්තට දැකපු කතාවක් කියන්නම්. 

අපේ පැත්තෙ ඉන්නව දෙමල අය. වතු දෙමල අය තමා ඉන්නෙ. ඉතින් මේ දුප්පත් මිනිස්සුන්ව කිරිපිටි පැකට් එකට සල්ලි වලට ක්‍රිස්තියානීකරනය කිරීමේ වැඩ පිලිවෙලක් එක්තරා පල්ලියකින් කරගෙන ගියා. දැන්නම් ඉතින් මිනිස්සු මැදිහත් වෙලා ඒ වැඩේ නවත්තවලයි තියෙන්නෙ. ඔය විදිහට ආගමට හරවපු පවුල් වගයකට පල්ලියෙන් ඉඩමක් අරන් දීල ගෙවල් හදා ගන්නත් උදව් කරා. මේ මිනිස්සු ඉන්න හරිය ටිකක් කැලේ. හැබැයි සිංහල මිනිස්සුත් ඉන්නව. හැමෝම ඉතින් අව්ලක් නැතිව හිටිය. දවසක් මේ දෙමල අයගෙ ගෙවල් තියෙන ඉඩමෙ නයෙක් ඉඳල තියෙනව. ඉතින් එක කොල්ලෙක් මේ නයාව මරන්න හදද්දි අනික් මිනිස්සු කියල තියෙනව මරන්නෙපා ඕකට යන්න දෙන්න කියල. මේක කොහොමහරි මේ නයාව මැරුව. ටික දවසකට පස්සෙ මෙන්න ආයෙ නයෙක්. ඒ කොල්ල මේ නයාවත් මැරුව. ඔය විදිහට මේ කොල්ල නයි තුන් හතර දෙනෙක්වම මැරුව. මෙන්න ටික දවසක් යනකොට මේ ලමයට පිස්සු හැදිල දොඩවනව. මාව මරන්න නයෙක් එනවා ගා ගෙන ගම පුරාම දුවනව. එක තප්පරයක් ගෙදර ඉන්නෙ නෑ. නයි මාව එලෝනවා ගාගෙන දුවනව. ඉස්සර චන්ඩියා වගේ සත්තු මරපු එකා දැන් මරු විකල්ලෙන් දොඩවනවා. අන්තිමේ කොහොමහරි ගෙදර මිදුලෙදිම නයෙක් දෂ්ඨ කරල මේ යකා මැරුන. ඔය වගේ සිද්ධි ගනනාවක් අපේ පැත්තෙනම් වෙලා තියෙනවා.

නයෙක් මැරුවොත් නයා හත් පාරක් එනවලු පලි ගන්න. කොහොමහරි අන්තිමට ඒ මිනිහ මැරෙන්නෙත් නයෙක් ගහලලු. ලේ මාපිලත් එහෙමනෙ. ලේ බොන්න ලේ මාපිල්ලො හත් දෙනෙක් එනවලු. එකෙක් අනික් එකාගෙ නැට්ට හපාගෙන ලේ බොනවලු. ඔය විදිහට මාපිල්ලො පෝලිමට ඉඳගෙන ලේ බොනවලු. මමනම් දැකල නෑ. ඕව බොරුයි කියල අහක දාන්නත් අපිට බෑනෙ ඉතින්.
 

දැන් ඉතින් මේ කතා පැත්තක තියල නයාව එලව ගන්න ඕනෙ. අපේ ගෙදර තියෙනව පොඩි ගබඩා කාමරයක්. ඒකෙ මීයො හාරපු ගුලක් එහෙමත් තියෙනවා. මෙන්න මූ ඒක අස්සට රිංගන්නයි හදන්නෙ. මීයන්ගෙ ඉව වැටිල වගේ. මූ මේක ඇතුලට රිංගුවයි කියන්නෙ අද ගෙදර ඉඳලත් හමාරයි. දැන් මොකද කරන්නෙ. හරි මට ආව අදහසක්. නයාට භූමිතෙල් විසයි. මම ටක් ගාල අනෙක් පැත්තෙ දොරෙන් ගබඩා කාමරේ දොර ඇරල භූමිතෙල් ගහල වැදුනද නැද්ද කියල බලන්නෙවත් නැතුවම දොර වහ ගත්ත. කොහොමින් කොහොම හරි නයා ආපු පාරෙන්ම මාරු වෙනව අම්ම දැකල තිබ්බ.
 

 මටනම් හිතුනෙම මේක ගාව මැණිකක් ඇති කියලමයි. ෆෝන් එකට රීලෝඩ් එකක්වත් දාගන්න සල්ලි නැතුව ඉන්න වෙලේ කොහොමද මැනිකක් හම්බුනොත්. ගොඩේ ගොඩ. ඒත් ඉතින් මේ යකාගෙන් අහන්නයැ මැනික ගෙනාවද කියල. නයාත් ඔහොම හිටියට හරි වැඩ කාරය. නයා ඔය මැනික තියාගෙන ඉන්නෙ හක්කෙ කියල කියනවනෙ. මූ රෑට ඒ මැනික බිමින් තියල ඒකෙ එලියට එන සත්තුන්ව අල්ලගෙන කනවලු. ඔය මැණික ගන්නත් පොඩි වැඩ කෑල්ලක් දාන්න ඕන්. නයා සාමාන්‍යයෙන් ඉන්නෙ තුඹස් වලනෙ. ඉතින් නයා පොඩ්ඩක් එලියට පහලියට බහිනකම් ඉඳල මිනිස්සු කරන්නෙ බිත්තරයක් ඔතනින් තියල මිනිහෙක් ගොම තැම්බකුත් අරගෙන ලඟ තියෙන ගහකට නැගල රැකගෙන ඉන්නවලු. නයා ඉතින් ආපහු ආවම බිත්තරේ දැකල මැණික බිමින් තියල බිත්තරේ ගිලිනවලු. නිකං හම්බෙන බිත්තරේනෙ. නයත් ඉතින් ගහල අරිනව ඇති. හොඳට නරකට දෙකට කටමය කියන්නෙ මෙන්න මේවට තමයි. නයා මැණික බිම තියනකොටම අර උඩ ඉන්න මිනිහ කරන්නෙ අතේ තියෙන ගොම ටික අර මැණික වැහෙන්න විසි කරන එකලු. නයාට ගොම විසයිනෙ. ඉතින් නයා අන්තිමට මැණික ගන්න බැරිව පෙනේ පොලොවෙ ගහල පෙනේ කඩාගෙන මැරෙනවලු.

මට මේක කියද්දි පරණ කතාවක් මතක් වෙනවා. මේක උනේ ජේ. ආර් ගෙ කාලෙ. ඒ කාලෙ ලෝකෙ ලොකුම නිල් මැනික තිබිල තියෙන්නෙ ලංකාවෙ. වටිනාකම මිල කරන්න බෑලු. කොහොමහරි මේ මැනික එංගලන්තෙ තිබ්බ මැණික් ප්‍රදර්ශනේකට යවල තියෙනවා. මැණික තිබ්බ වීදුරු කුටිය ඇතුලට උග්‍ර විෂ තියෙන නයෙක්ව එහෙමත් දාල තියෙනව මැණිකෙ ආරක්ෂාවට. සාමාන්‍යයෙන් මැනික් ප්‍රදර්ශනවලදි කරන දෙයක්නෙ ඕක. මෙන්න බොලේ එක දවසක් බලනකොට මැනික නෑලු. කොහොමද වැඩේ.
 

ඔන්න කෙල්ලනේ කොල්ලො කියයි මැණිකක් රකිනා නා රජිදෙකු මෙන් නිරතුරු මා ඔබ රකිමී කියල. අහුවෙන්නෙපා ඕවට. කන්න මැණික බිම තියනවා. මම ඒ කිව්වෙ මොහිදීන් බෙග් මහත්මයාගේ ගීතයක කොටසක්. හැබැයි ඔන්න ඕගොල්ලො මැනික් ගන්න හිතාගෙන නයි අල්ලන්න යන්නෙපා. හැම නයා ගාවම මැණික් නෑ හොඳද.

කොහෙද මේ මැණික නිසා කියාගෙන ආව කාරනෙත් අමතක උනා. දැන් නයා මිසින්ග්. මේකව කොහොමහරි හොයා ගන්න ඕන. නැත්නම් මල ජංජාලයක් තමා වෙන්නෙ. ඔන්න ඉතින් අම්මයි මායි මිෂන් එක කන්ටිනිව් කරන්න පටන් ගත්ත. අම්ම තමා පෙරමුණේ රාල. මම අම්මට පස්සෙන් ගාඩ් එක දාගෙන ගියා. ඔය ගිය පාරෙ ආයෙම තියෙනව ගල් ගොඩක්. අම්ම ගියා ඊලඟට මම. මම ගල්ගොඩ පහුකරා විතරයි මෙන්න බොලේ ඔලුවක් පේනව. හත්තිලව්වයි නයා. මාව බය උනා අම්බානෙට. වෙලාවට මූ නයෙක් උනේ. පොලඟෙක් එහෙම උනානම් තාම මාව කනවා.
 

ඇත්තටම නයා කියන්නෙ ගොඩක් හොඳ සතෙක්. නයා කොහොමත් බුද්දිමත් සතෙක් කියලනෙ පිලිගන්නෙ. අපෙ ආච්චිලනම් ඉස්සර නයෙක් වත්තට ආවම නයි හාමි යන්න. මෙහෙ පොඩි ලමයි ඉන්නවා. අපිට කරදර කරන්නෙපා කියල නයාට කියනවලු. නයාත් ඉතින් ඒක අහගෙන ඉඳල උගෙ පාඩුවෙ යන්න යනවලු. නයා කෙනෙකුට දෂ්ඨ කරන්නෙ බැරිම උනොත් විතරයි. අනෙක් හැම වෙලේම නයා බලන්නෙ මිනිහව මග අරින්නමලු. මිනිහෙක්ට වැරදිලා හරි නයෙක් පෑගුනාම නයා එක පාරටම දෂ්ඨ කරන්නෙ නැතිව ඉස්සිල පාගපු එකාගෙ මූණ බලනවලු. පාගපු එකා අන්ධයෙක්ද කියල දැන ගන්න. ඒ තරම් හොඳ සතෙක් තමා නයා කියන්නෙ.

නයා පොලඟත් එක්ක වයිර බැඳගත්තෙත් ලමයෙක් හින්දනෙ. එක නියං කාලයක් ආවලු කැලේ ඔක්කොම වතුර හිඳිල ගියාලු. ඉතින් තිබහ ඉවසගන්න බැරුව හේහත් උන නයෙක් ගමේ ගෙදරක පිලිකන්නෙ පැත්තට ඇදීගෙන ආවලු. එනකොට පොඩි එකෙක් වතුර බේසමක බැහැල පොල්කට්ටකුත් අරගෙන සෙල්ලම් කර කර ඉන්නවලු. වෙන කවුරුවත්ම පේන්න නැති පාර නයා බේසමට ඔලුව දාල වතුර බොන්න ගත්තලු. පොඩි එකා මේක දැකල සෙල්ලමට වගේ නයාගෙ ඔලුවටම දීල ඇරියලු පොල් කට්ටෙන් . මොනව කරන්නද පොඩි එකෙක් සෙල්ලමට කරපු දෙයක්නෙ.  නයා ඕක ගනන් ගන්නෙ නැතුව වතුර ටික බීල පාඩුවෙ ආවලු. එනකොට නයාට මගදි හම්බුනාලු පොලොං තඩියෙක්ව. පොලඟ දැන ගත්තලු නයාටනම් වතුර හම්බෙලා කියල. නයාගෙන් ඇහුවට නයා කිව්වෙම නෑලු මේක පොඩි එකාට කරදරයක් කරයි කියල. අන්තිමේ පොලඟගෙ පෙරෙත්ත කිරීමට නයා පොඩි එකාට කරදරයක් නොකරනවයි කියන පොරොන්දුව උඩ පොලඟට පොට් එක කිව්වලු. කොහොම උනත් නයාට පොලඟව ෂුවර් එකක් තිබිලම නෑ. නයත් පොලඟ පස්සෙන් ඇවිත් හැංගිලා බලන් හිටියලු මොකද වෙන්නෙ කියල. පොඩි එකත් ඉතින් ඉස්සෙල්ල වගේම පොලඟටත් හොඳවයින් එකක් දීල ඇරල තියෙනවා. මල පැනපු පොලඟ පොඩි එකාටත් ෂොට් එක දීල ඇරියලු. වැඩේ බලන් හිටපු නයා දුවගෙන ඇවිත් පොඩි එකාගෙ විෂ උරල ඉවරවෙලා පොලඟව මරල දැම්මලු. එද ඉඳන් තමයි ඔය නයි පොලොං වයිරෙ ඇතිවෙලා තියෙන්නෙ.
 

මටනම් දැන් එලියට බහින්නත් බයයි. මේ නයාව දැක්කත් කලන්තෙ හැදෙනවා. මම අම්මවත් ඇදගෙන ගෙට ආව. නයාට උගෙ පඩුවෙ යන්න ඇරල. කොහොමින් කොහොම හරි අන්තිමට මිෂන් ෆේල්. පස්සෙ බලනකොට නයා නෑ. ඌ ඔය කොහෙට හරි ඇදිල යන්න ඇති. මොකද නයා එහෙම තැන් තැන් වල ඉන්න සතෙක් නෙමෙයිනෙ. ඔන්න ඔහොමයි ඔපරේෂන් නයි හාමි වැඩේ සිද්ධ උනේ. අසාර්ථක මෙහෙයුමක් කියන්නත් බෑ. අපිට ඕන උනේ නයාව එලව ගන්නනේ. අන්තිමට ඌම යන්න ගිහින්. නයි ගැන කියනවනම් ඉතින් ඇති තරම් කතා තියෙනව.ඔය බබාල හම්බෙන්න ඉන්න අය හීනෙන් නයි දකින එක හොඳයි කියනවනෙ. එතකොට අනිවාර්යෙන් හම්බෙන්නෙ කොලු පැටියෙක්ලු. අනේ මංද ඕව ඉතින්. කාට හරි හිතෙනවද දන්නෙ නෑ මම මේ නයි අරිනව කියල.


මොනව උනත් මේක බලන අය වැරදියට හිතන්නෙපා මම  නයින්ට බයයි කියල. බයට නෙමෙයි ගෙට ඇවිත් දොර වහ ගත්තෙ. වහිනවනෙ. මට තෙමෙන්න හොඳ නෑ. ඒකයි

Bookmark and Share

දිනය : 2010.05.05

ස්ථානය : මතුගම කොළඹ බස් රථයක්

බස් රථයට අතරමගින් අත දරුවෙකුද වඩා ගෙන මවක් ගොඩවූවාය. ඈ අත හුන් දරුවා මද සිනහවක්ද මුවේ රඳවා ගෙන තද නින්දට වැටී සිටියේය. බසයේ හුන් හැමෝගේම නෙත් මේ හුරතල දරු පැටවා වෙත යොමුවී තිබුනෙය. එහෙත් මවගේ නෙතඟ රැදී තිබුනේ කඳුළු කැටය. ඇගේ කතාව ඈ පැවසූ පරිදි මෙසේ සඳහන් කරන්නම්.......

" මගේ ගම ( ඇය හැටන් ප්‍රදේශයේ ගමක් සඳහන් කරයි ) මම බැඳල ඉන්නෙ මෙහෙට. මහත්තයා වැඩ කරන්නෙ හමුදාවෙ. එයා තමා පවුලෙ එකම දරුවා. එයා මට ගොඩක් ආදරෙයි. ඒත් එයාගෙ අම්මට මාව පෙන්නන්න බෑ. මහත්තය ඉන්න තැන මොකුත් කියන්න නෑ. ඒත් මහත්තය නැති වෙලාවට මාව පට්ට ගහනවා. මහත්තයටත් කරන්න දෙයක් නෑ. එයා වෙනම පදිංචියට යන්න කැමතිත් නෑ. අම්ම තනිවෙනව කියල. මම බැරිම තැන තමයි බබාවත් අරන් ගෙදර යන්නෙ. මට පුළුවන්නම් කොළඹ බහින්න ඕන කොතනින්ද කියනවද ? " ඇය පැවසුවේ හැඬු කඳුලිනි.

ඇගේ මෙම තීරණය එක් අතකින් බලන කල කිසිසේත්ම අනුමත කල නොහැක්කකි. යන එන මග හසර හරි හැටි නොදැන ඇය බැස ඇත්තේ සමාජ සුරක්ෂිතතාව 100% ක්ව ඇති සමාජයකට නොව. ඇයට අනුකම්පා කරන්නන් ඕන තරම් සිටිය හැක. එහෙත් ඒ අනුකම්පාව භූමිකම්පාවක් බවට පත් නොවනු ඇතැයි අපට සිතිය නොහැක. එහෙත් තවත් පසෙලින් බලන කල ඇයගේ තීරණය හරි යයි පැවසීමටද අපට පුලුවන. දරුවකු අළුත උපන් පසු කාන්තාවක තුල විශාල මානසික පරිවර්තනයක් සිදුවේ. ඇතැන් මව්වරුන් මෙම තත්වය උඩ සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹුන අවස්ථා අපට සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ. එසේනම් මෙවන් තත්වයක් තුල නිවැසියනේ වගකීම යුතුකම වන්නේ ඇයට මානසික ශක්තියක් වීම නොවේද ? එහෙත් මෙම මවට එවන් සහනයක් ලැබුනාද යන්න සැක සහිතය. 


නැන්දම්මා ඇය හා නිතර රණ්ඩු සරුවල් කරන්නේ දෑවැද්ද පිලිබඳ විමසමින් බව ඇය පැවසීය. තමාට සිටින්නේත් එකම දරුවා නම් ඉන්න හිටින්න ගෙයක් දොරක් තිබේනම් කවදා හෝ එහි උරුමයත් තම පුතාටම නම් මේ නැද්දම්මා තම ලේලියගෙන් තවත් දෑවැද්දක් බලාපොරොත්තු වන්නේ කුමකටද ? අනෙක් කරුණ නම් මවක් තුල වයසින් මුහුකුරා යත්ම මවුවත් ගුණයද වැඩිවිය යුතු නොවේද ? මා දන්නා එක්තරා ආච්චි කෙනෙකු සිටී. මුලු ගමම ඒ ආච්චිට ආදරේ කරති. ඈට මුලු ගමේම දරුවන් ඇගේම දරුවන් මෙනි. ගමේ ඕනෑම කෙනෙකු ඇගේ නිවස අසලින් යන විට ඈ හා වචනයක් හෝ දොඩමලු වී යන්නේ ඇය ඒ තරමටම ගමේ ආදරය දිනා ගෙන ඇති බැවිනි. එහෙත් මේ නැන්දම්මා තම ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වූවා යැයි අපට සිතිය නොහැකිය.

සමහර විට මේ නැන්දම්මාත් ලේලියක වී සිටි කාලයේ තම නැන්දම්මාගේ උදහසට ලක්වූ අයෙකු විය හැක. එසේනම් ඇය එවන් තත්වයක් තුල තමා කොතරම් මානසික පීඩාවට ලක්වූවාද යන්න, නැන්දම්මා යන චරිතයට තමන් කොතරම් ද්වේෂ කරාද යන්න හොඳ හැටි දන්නවා ඇත. එසේනම් ඇය නැන්දම්මා කෙනෙකු වූ කල තම ලේලියත් එවන් මානසික පීඩනයකට ලක් කල යුතුද ? තම ලේලියගේ ද්වේෂයට පාත්‍ර විය යුතුද ? තම එකම පුතණුවන්ගේ පවුල් ජීවිතය විනාශ කල යුතුද ?

මේ වෙනස් වීමට කාලයයි. නැන්දම්මා ලේලි අර්බුදය අතීතයේ සිටම මේ සමාජයේ දක්නට ලැබෙන්නකි. එහෙත් එය සම්ප්‍රදායක් ලෙස සැලකිය නොහැක. මක් නිසාද තම දූවරුන්ට වඩා තම ලේලියට ආදරේ කරන මවුවරුන් මේ සමාජයේ දක්නට ලැබෙන නිසාය. සැබැවින්ම සිදුවිය යුත්තේ එය නොවේද ? අම්මා කෙනෙකු ලෙස ජීවිතයේ අවසාන කාලය තුල ඇය සිදුකල යුත්තේ ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වී තමන් අදහන ආගම දහම අනුව පරලොවට වැඩක් කර ගැනීම නොවෙද ? සම්ප්‍රදායට අප ගරු කල යුතුය. එහෙත් සම්ප්‍රදාය හානියක් නොවන පරිදි නව ලොවට ගැලපෙන පරිදි වෙනස් කල යුතුය.

මේ ප්‍රශ්නයේදී තවත් පුදුම සහගත කරුණක් ඇත. ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි. අම්මා කෙනෙකු විසින් පීඩාවට පත් කරණු ලබන්නේ තවත් අම්මා කෙනෙකි. ගැහැණියකට තවත් ගැහැණියක , මවකට තවත් මවකගේ දුක නොදැනීම පුදුමයකි. සැමියා බිරිඳ , නැන්දම්මා ලේලිය මේ අර්බුද වල අවසානය බොහෝ විට කෙලවර වන්නේ පවුලක් දෙකඩ වීමෙනි. අවසානයේ දුක් විඳින්නේ , මව් සෙනෙහස නැතහොත් පිය සෙනෙහස අහිමි වන්නේ මේ ලෝකයේ අනාගතය භාර ගැනිමට සිටින හය හතර නොදන්නා කිරි සප්පයන්ගේ නොවේද ?

Bookmark and Share



අබ මල් රේනුවක් තරම්
මා ගැන සෙනෙහේ තිබුනා නම්
අද මේ විලස මට දුකක්
නුඹ මට දෙයිද රත්තරන්

පුන් සඳ තරම් නැති උවත්
අටවක සඳ තරම් වත්
නුඹ මට එලිය උනා නම්
නුඹ මට එලිය උනා නම්

සාගරේ තරම් නැති උවත්
තණ අග පිනි බිඳුව තරම්වත්
නුඹ මට සිසිල උනා නම්
නුඹ මට සිසිල උනා නම්......



ගායනය සුදම් චාමර.....

ගීතය මෙතනින් භාගත කර ගන්න




Bookmark and Share

පාරමිතාව


ඔයාට මතකද......
ඉස්සර මේ වගේම
පෝය දවසක
ඔයයි මමයි...
මගේම පොකුණෙන්
මානෙල් මලුත් කඩාගෙන
පන්සල් ගියපු හැටි....
දෙන්නගෙම අත් දෙකෙන්
එක මලක් පූජ කරල
අපි අපේම වෙන්න පෙරුම් පිරුව
මතකද ඔයාට...

අදත් ඔයා
ඒ පන්සලටම ගිහින්
ඒ බුදු පිළිමෙටම
මල් පූජ කරල
එයා ඉක්මනටම
ඔයාගෙ වෙන්න
පතනව ඇති.....
හැමදාමත් එයා ලඟින් ඉන්න
පෙරුම් පුරනවත් ඇති...

http://www.elakiri.com/forum/showthread.php?t=651754

Bookmark and Share

හංසි.......

මට ඔයාගෙ සුවඳ දැනෙනවා
මේ ලඟ ඉන්නව වගේ.....
විශ්වාස කරන්න
මහ රෑ නින්දෙන් පවා
මට ඔයාගෙ සුවඳ දැනෙනවා....
මම රෑට ඇහැරිලා බලනවා
ඒත් ඔයා නෑ....
ඒ වෙලාවට හරියට දුකහිතෙනවා

මම මගේ ජීවිතය ගැන හිතනවා
ඔයාගෙ ඇස් දෙක මට මැවෙනවා
ඔයා දන්නවද
මගෙ ජීවිතයෙ සතුට
කඳුල දුක...වේදනාව
සැනසීම බලාපොරොත්තුව
ඒ හැම දෙයක්ම ඔයා
ඔයාගෙ ආදරේ.....

Bookmark and Share

ඔයාල හැමෝටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණීයෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ ප්‍රාර්ථනා කරනවා..............!

                    ඉතින් කොහොමද? ගොඩ දවසකින් නේද අපි මේ පැත්තෙන් හමුවෙන්නෙ.පහුගිය ටිකේම එක දිගට වැඩ කරා.ගෙදර ආව කියල මේ පැත්තට එන්න උනේ නෑ.දැන් ගෙදරට ජංජාල පහසුකම නෑ.තිබුන ඩයලොග් කනෙක්ෂන් එක ඩිස්කනෙකට් කරානෙ. ඉතින් ආයෙ කනෙක්ෂන් එකක් ගන්නකම් ගෙදරට ජංජාලෙ නෑ. මේ පැත්තට නො එන්න ප්‍රධානම හේතුවන් උනේ ඒක.අනික තමයි හදිසියේම කැම්පස් එක වැහුවනෙ. බ්ලොග් එකට දාන කියල කොලවල ලියපුව සේරම හොස්ටල් එකේ. ඒ ටික ආයෙ ලියල දාන්නම්.

             ගොඩක් අය කියනවා සුදු මහත්තයට දැන් හරි ගිහිල්ල නිසා බ්ලොග් ලිවිල්ල අත ඇරල දාල කියල. මම දවසක් අහම්බෙන් ෆේස් බුකියට ගොඩවැදුණු වෙලාවක තමයි ඔය කතාව අහන්න ලැබුනෙ. අනේ එහෙම එකක් නෑ. මම තාමත් එදා උන්නු සුදු මහත්තයාම තමයි.  දැන් ටිකක් විතර ඉතින් අවිවේකියි තමයි. ඒ උනත් පුළුවන් හැමවෙලාවකම මේ පැත්තෙ ඇවිත් යන්නම්. අද ඉතින් අවුරුදුනෙ. යන්න ඕන කැට ගහල කීයක් හරි හොයාගෙන එන්න. ඊටත් ගෙදර කෑම ජාති ගොඩ ගහලා. ඕව ඉවරයක් කරන්නත් එපැයි. නැත්නම් කැම්පස් ගියාට පස්සෙ අම්මටයි තාත්තටයි පුළුවන්ද තනියම ඔය සේරම කන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙ හමුවෙමුකො. යන්නම්. ටටා බායි.

Bookmark and Share




අද ගොඩක්ම වෙනස් විදිහේ පෝස්ට් එකක් දාන්න හිතුනා. අද මම ඔයාලට පුංචි වීඩියෝ එකක් දෙන්න හදන්නෙ. පුංචියි කිව්වට පුන්චිම නෑ ඉතින්. මෙන්න මේකයි වීඩියෝ එක. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ සජීවි ප්‍රසංගයක්. මට මේ වීඩියෝ එක අඩංගු සීඩී තැටිය හම්බුනේ අපේ පැත්තේ පේමන්ට් කඩයකින්. ඒත් වටින නිසාම පර්ස් එක අතගාල සල්ලි හොයාගෙන සීඩී එක මිලට ගත්ත. ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕන කියල. ඉතින් මෙතන තියෙනවා යූ ටියුබ් එකට මම දාපු වීඩියෝ ටිකක්. ඒ වගේම සම්පූර්ණ ප්‍රසංගයේ Thumbnail ඡායාරූපයකුත් තියෙනවා. ඉතින් ඔයාලට හිතෙනවනම් මේ වීඩියෝ එක හොඳයි කියල භාගත කරලම බලන්නකෝ.

මලට බඹරෙකු සේ



ආදරේට කියන කතා



පියඹා යනවා මා



Thumbnail ඡායාරූපය. විශාල කරල බලන්න ඡායාරූපය මත කොටන්න.

මෙන්න සම්පූර්ණ ප්‍රසංගයේ කොටස් ටික. කොටස් 6ක් තියෙනවා.

පලවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

හතරවෙනි කොටස

පස්වෙනි කොටස

හයවෙනි කොටස

Bookmark and Share

පහුගිය දවස්වල ශ්‍රී ලංකා ඉන්දියා බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය ගැන ඔයාල හැමෝගෙම ලොකු උනන්දුවක් තියෙන්න ඇතිනෙ නේද ? ඉතින් මම හිතුව අද ඔයාලට ඒ වගෙ තවත් සුවිශේෂ ක්‍රිකට් තරඟාවලියක් ගැන කියන්න. හැබැයි මේක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් නම් නෙමෙයි. මේක තිබ්බේ අපේ ෆැකල්ටියේ. ඒ කිව්වෙ රජරට විශව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ. දවස කියනවනම් ජනවාරි දහවන සඳුදා.පීඨයේ සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් පැවති මේ තරඟාවලියට ආචාර්ය මණඩලයද තමන්ගේ නොමසුරු දායකත්වය ලබා දුන්නා.

පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මෙම සුවිශේෂී ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කලේ එක.ශි.ස හා ආ.හු.ස කණ්ඩායම අතර ප්‍රදර්ශන තරඟයකින්. මේ තරඟාවලිය පැවතියේ සුවිශේෂී වූ ක්‍රීඩා පිටියක. ඇත්තටම ඒ ගැන කියනවනම් මේ වගේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ලෝකෙ වෙන කොහෙවත් රටක නැතුව ඇති. මේ තරඟාවලියේදී ගස් කැච් වලංගු වීම තවත් සුවිශේෂ ලක්ෂණයක් උනා. ආදර්ශ තරඟාවලියෙන් අනතුරුව නවක කණ්ඩායම හා ආචාර්ය මණ්ඩලය අතර තරඟයෙන් ක්‍රීඩා තරඟාවලිය ආරම්භ වූවා.
ඉන් අනතුරුව ආචාර්ය මණ්ඩල කණ්ඩායම, තෙවන වසර කණ්ඩායම , දෙවන වසර කණ්ඩායම , පළමු වසර් කණ්ඩායම , නවක කණ්ඩායම , එක.ශි.ස කණ්ඩායම , ආ.හු.ස කණ්ඩායම , ලොවෙත් අමද්‍යප කණ්ඩායම ආදී කණ්ඩායම් රැසක් අතර තරඟ පැවැතුනා.

ප්‍රදර්ශණ තරඟය වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව

ආචාර්ය මණ්ඩලය තරඟයෙන් ජය ලැබීමෙන් අනතුරුව

මේ තරඟාවලියට නිවේදන කටයුතුවලින් සහය උනේ පරල්ලා අයියා සමග කැලෑ අයියා. අවසානයේ මේ මැච් එකෙන් ජයග්‍රහනය ලබාගත්තෙ දෙවන වසර කණ්ඩායම. රාත්‍රියේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව පුංචි ප්‍රීති සාදයකින් තරඟය නිමාවට පත් උනා.

තරඟයේ උණුසුම් අවස්ථා කිහිපයක වීඩියෝ දර්ෂණ ඔයාලට පහතින් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඡායාරූප වැඩි ප්‍රමාණයක් මේ ලබැඳියෙන් බලා ගන්නත් ඔයාලට පුළුවන්.

http://www.facebook.com/album.php?aid=2029027&id=1595547674&ref=mf



ආචාර්ය මණ්ඩලය හා නවක කණ්ඩායම අතර තරඟය


video

ආචාර්ය මණ්ඩලය හා තෙවන වසර කණ්ඩායම අතර තරඟය

Bookmark and Share


මේ දවස් ටිකේම වැස්ස නේද ?

හ්..ම් අද හවසටත් වහින පාටයි...

එහෙනම් ඉතින් දෙන්නටම නාන්නයි වෙන්නෙ.

ඇයි ඔයාගෙ කුඩේ නැද්ද ?

ඒකෙන් පුලුවන්ද දෙන්නෙක්ට යන්න...

ඇයි බැරි. කුඩේ පොඩි උනාම ගොඩක් හොඳයිනෙ....

කට්ටය....

ආස නෑ වගෙ.....

ආසයි ආසයි..

ඒකනෙ කියන්නෙ...

ඇත්තටම මම ආසයි හැමදාම පුංචි හා පැටියෙක් වගෙ ඔයාගෙ මේ උණුහුමට වෙලා ඉන්න..

ආදරය කරන ඔබ සැම එකම එක දවසක් හෝ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ පොද වැස්සක එක කුඩයක් යටින් ගමන් කර ඇති බව නොඅනුමානයි. සීතලේ අනෙකාගෙ උණුහුමට ගුලිවෙමින් යන ඒ ගමන කොයිතරම් සුන්දරද? වැස්ස අපේ එදිනෙදා කටයුතු වලට බාධාවක් උවත් එය කිසිදිනෙක ආදරයට බාධාවක් නොවනු ඇත. එවන් මොහොතක දැනෙන ආදරනීය උණුහුම කොයිතරම් මිහිරිද ? එහි සුවය කිසිදා අමතක කල හැකිද ? එම ආදරණීය උණුහුම ලබා ගත හැකි අන් මගක් තිබේද ?. පොද වැස්සක සීතලේ ගුළිවෙමින් අනෙකාගෙ උණුහුම විඳ ගනිමින් පාළු මාවතක් දිගේ ඇවිද යන්නට ඇත්නම්.......

මල් මල් මල් වරුසාවේ
දේදුන්නෙ පායාපන්නෙ
එක එක සැලෙනා වැසි බිඳුවේ
තනි වී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ.....

පාළු මාවතේ පොද වැස්සේ
එක කුඩයක් යට යන ගමනේ
නුඹේ උණුහුමයි මා දැනුනේ
කිසිදා නෑ අමතක වන්නේ
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ ......

පාළු මාවතම මුතු පලසකි මට
බොරදිය මාවතෙ ගලන තුරා
සෙවන දැනෙයි සිටු මැදුරක සේ
මුතු කුඩයේ යට සිටින තුරා
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ.......

මල් මල් මල් වරුසාවේ
දේදුන්නෙ පායාපන්නෙ
එක එක සැලෙනා වැසි බිඳුවේ
තනි වී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ.....

හිත එක් නිමේෂයකින් අතීතයට රැගෙන යන මේ ලස්සන සිංදුව මෙතනින් භාගත කර ගන්න.

Bookmark and Share


ඔන්න අද ටිකක් වෙනස් විදියෙ මාතෘකාවක් ගැන තමයි කතා කරන්න හදන්නෙ. හැමදාම ආදරේ ගැන කතා කරනවනෙ. අද ටිකක් වෙනස් පැත්තක් ගැන කතා කරන්න හිතුවා. ICT කරන කෙනෙක් විදිහට මගේ බ්ලොග් එකේ ඒ පැත්ත ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක් නෙ. ඒ අඩුව පුරවන්න තමයි අද මේ සටහන දාන්නෙ. ඉතින් මේ මාතෘකාව අදාල නොවන අය මා එක්ක තරහ වෙන්නෙපා. මේක කියවල බලන්න. ඔයාලටත් වැදගත් වෙයි.

අද කියන්න යන්නෙ Google සමාගමෙන් හදුන්වා දීපු නවතම Programing Language එකක් වන GO පරිගනක භාෂාව ගැන. දැන් ඔයාල බලයි Jave , C , C++ වගේ Programing Language ගොඩක් තියෙද්දි මොකටද මේ තව එකක් කියලා. එහෙම නේද ? Google සමාගමනම් මේ ගැන කියන්නෙ එයාල තමන්ගේ මේ නවතම පරිගනක භාෂාවේදී අනික් සියලුම භාෂාවන්ගෙ හොඳ ගති ලක්ෂණ එකතු කරල තියෙනව කියලයි. ඒ කියන්නෙ All In One පරිගනක භාෂාවක්. ඒ වගේම මේක අනෙක් පරිගනක භාෂාවලට වඩා කාර්‍යක්ෂම වගේම ආරක්ෂාව අතිනුත් ඉහල බව ඔවුන්ගේ අදහසයි.


ඉතින් ඔයාලට පුළුවන් www.golang.org කියන වෙබ් අඩවියෙන් මේ ගැන වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම මේ නවතම පරිගනක භාෂාව ගැන අවශ්‍ය තාක්ෂණික උපදෙස් වගේම අවෂ්‍ය tutorial වගේ ඒවත් මේ වෙබ් අඩවියෙන් නොමිලයේම ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න. මේකත් open source වර්ගයේ පරිගණක භාෂාවක්.

Bookmark and Share


ඔයාට මතකද ඉස්සර දවසක අපි දෙන්න මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියපු හැටි. ඔයා මගෙ උණුහුමට වෙලා අනාගතය ගැන දාහක් දේවල් කියවපු හැටි. ඔයාට ඕන උනේ කවදහරි දවසක මුහුද මැද්දෙ පුංචි දූපතක ලස්සන ගෙයක් හදන්න. ඒත් මම ඒකට කැමති උනේ නෑ. ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. වැරදිලාවත් ආයෙ සුනාමියක් ආවොත්. ඔයාට කරදරයක් වෙයි කියල මට බයයි. ඔයා හැමදාම වැලි වලින් පුංචි මාළිගාවල් හදමු කියල කිව්වත් මම අපි ඒක ඊළඟ දවසෙ හදමු කියල කල් දානව. කම්මැලිකමකටවත් ඔයා කියන දේකට උනන්දුවක් නැති නිසාවත් නෙමෙයි. අපි දෙන්න කොයිතරම් මහන්සිවෙලා ඕක හැදුවත් එක රළ පාරකින් ඒ මාළිගාව විනාස වෙලා යන නිසා. එතකොට ඔයාට කොයිතරන්නම් දුකක් දැනෙයිද ? ඔයාට අබ මල් රේණුවක් තරම්වත් දුකක් දැනෙනවට මම කැමති නෑ.

අපි දෙන්න එහෙම ගිය හැම දවසකම කන්දෙ විහාරෙටත් ගියා. ඔයාට මතකද අපි දෙන්නත් එක්ක බුදු හාමුදුරුවන්ට එක මලක් පූජ කරපු හැටි. මල් නැතිවට නෙමෙයි. අපි දෙන්න ඒ තරමට අපිට ආදරය කරා. අපි දෙන්න දෙන්නෙක් කියල කවදාවත් නොහිතුන නිසා. ඔයා හැමදාම බුදුගෙට මල් පහන් පූජ කරල ප්‍රාර්ථනාවක් කරනවා. මාත් ඔයා ලඟින්ම ඉඳගෙන ඔයාගෙ ප්‍රාර්ථනාව ඒ විදියට ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මට ප්‍රාර්ථනා කරන්න දේවල් නැතිව නෙමෙයි. ඔයාගෙ සතුට මට ගොඩක් වටින නිසා. ඔයාගෙ ප්‍රාර්ථනාවල් ඒ විදියටම ඉටුවෙලා ඔයා සතුටින් ඉන්නවා දකින්න ආස කරපු නිසා.

එහෙම ගිය සමහරක් දවස් වලට අපි දෙන්න රේල් පාර දිගේ ඇවිදගෙන යනව. ඔයාට ආසයි රේල් පීල්ල උඩින් ඇවිදගෙන යන්න. ඔයා එහෙම යනකොට මම ඔයාගෙ අතින් අල්ලන් ලඟින්ම ඉන්නවා. ඔයාව වැටෙයි කියල මට බයයි. එහෙම යනකොට ඔයාට නිකමට වත් හිතුනද අපි දෙන්නගෙ ආදරෙත් මේ රේල් පීලි දෙක වගෙයි කියලා. රේල් පීලි දෙක ඈතදි එකතුවෙනව වගේ පෙනුනත් එතනට ගිහින් බලනකොට ඒ එකතුවීම තව දුරයි. හැබැයි අන්තිමට ඒ පීලි දෙක කවදාවත් එකතු වෙන්නෙ නෑ. අපේ ආදරෙත් දැන් ඒ වගේ වෙලා නේද ?

ඔයාට මතකයි නේද ඉස්සර අපි දෙන්න බයිසිකලේ ඩබල් දාල යන හැටි. ඔයාට ආසයි මාත් එක්ක මුළු දවසම උනත් එහෙම යන්න. මාත් ආසයි. ඇයි මට ඔයාගෙ ලඟින් එන සුවඳ හොඳට දැනෙනවනෙ. මම අදත් ආසයි ඒ සුවඳට. ඔයාට ඕනෙ හෙමින් යන්න. ඒ ගොඩක් වෙලා මා ලඟට වෙලා ඉන්න තියෙන ලෝභකමට. මට ඕන හයියෙන් යන්න. ඔයා ලඟටවෙලා ඉන්න ආස නැතිව නෙමෙයි. ඔයාට මගෙ වැඩ පෙන්නන්න. එහෙම ගිය හැම දවසකම ඔයා ගොඩක් දුක්වෙනවා මගෙ කකුල් රිදෙනව ඇති කියල. ඒ වගේ වෙලාවට ඔයා කියනව ඉන්නකො මම ඔයා ලඟට ආවම ඔයාගෙ කකුල් දෙක අත ගාන්නම් කියල. ඒ වෙලාවට මට ඔයා ගැන පුදුම ආදරයක් හිතෙන්නෙ. දෙයියනේ මා වෙනුවෙන් ඒ තරම් ආදරයක්.

ඉස්සර මතකද අපි දෙන්න කොහෙහරි යන දවසට මම ඔයා එනකම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නව. ඔයා හැමදාම පරක්කුයි. ඒ මට ආදරේ නැති නිසා නෙමෙයි කියල මම දන්නවා. ඔයා එනකම් බලං ඉන්න හැම තප්පරයක්ම කල්පයකටත් වඩා ලොකුයි කියලයි මට හිතෙන්නෙ. ඔයා පරක්කු වෙන්න වෙන්න හිතට බයයි. සමහරක් දවස් වලටනම් මට පොඩ්ඩක් කේන්ති යනවත් එක්ක. ඒත් ඈතදිම ඔයාගෙ ලස්සන හිනාව දකිනකොට ඒ සේරම අමතකයි.

ඔයා දන්නවද ඔයා මගෙන් ඈතට ගිහින් අදට අවුරුද්දක් වෙනවා. සතුටින් සමරන්න පුළුවන් දෙයක්නම් නෙමෙයි. ඔයා නැතිව ගෙවුන මේ අවුරුද්දක කාලය මම ජීවත් නොවුන තරම්. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා කියන්න , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා කියන්න , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා කියන්න , ඔයාගෙ ඔළුවෙ කැක්කුමට වෙලාවට බෙහෙත් ගන්න කියන්න අද කවුරුවත්ම මා ලඟ නෑ. ඔයා නැතිව මම ගොඩක් අසරණ වෙලා කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ? මම තාමත් ඔයා එනකම් මග බලන් ඉන්නවා. හරියට ඉස්සර ඔයා බස් එකට එනකම් බලන් ඉන්නවා වගේ. තාම ඔයා ආවෙ නෑ. තරහක්නම් නෑ. ඒත් හිතට බයයි ඔයා නෑවිදින් ඉඳීවි කියල

ඒත් තාම මේ ඇස් දෙක මග බලන් ඉන්නවා ඔයාගෙ හිනාව දකින්න. ඔයාගෙ හිනාවට පුළුවන් මට මුළු ලෝකයක්ම අමතක කරවන්න. ඔයාට මේ තරම් ආදරේ කරන මාව මගදි දැක්කම ඔයා අහක බලන් යනකොට හිත කොයි තරම්නම් හඬා වැටෙනවද ? ඒත් තුන් හිතකවත් තරහක් නෑ.

ඔයාට එන්නම වෙනවා.
එන දවස වැදගත් නෑ
එන බව පමණක් කියන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=386652

Bookmark and Share


එයා මට ආදරෙයිලු
පන තරමට
අහස වගේ අනන්තයකට
ඒත් දෙයියනේ....
මගෙ හිතේ ආදරයක් නැත්නම්......?

Bookmark and Share


ඔන්න එහෙනම් 2009 අවුරුද්දත් ගෙවිල ගියා. සතුටු වෙන්න ටිකක් අමාරුයි. මොකද අපි අවුරුද්දකින් වයසට ගියානෙ. අළුත් අවුරුද්දක් පටන් ගන්නකොට අවුරුද්ද වගේම ඔයාලගෙ බලාපොරොත්තුත් අළුත් වෙනවනෙ නේද ? ඒ වගේම එක එක අරමුණුත් තියෙනවනෙ මේ අවුරුද්දෙ ඉටු කර ගන්න. මගෙත් ඉතින් පොඩි පොඩි බලාපොරොත්තුනම් ගොඩක් තියෙනවා. ලොකුම එක ඉතින් හොඳට ඉගෙන ගන්න එකනෙ. ඉතින් ඔයාලගේ හිත්වල තියෙන ඒ ලස්සන අහිංසක බලාපොරොත්තු ඒ විදිහටම ඉටුවෙන්න කියල මම මුළු හදවතින්ම ඔයාලට සුභ පතනවා.

2009 අවුරුද්ද කියන්නෙ අපේ රටටනම් ගොඩක් වැදගත් අවුරුද්දක් උනානෙ. දශක දෙකකට වැඩි කාලයක් අපේ රට වහගෙන පැතිර ගිය යුද්ධයේ අඳුරු සෙවනැලි මකා දාන්න අපේ රටට හැකියාවක් ලැබුනනෙ. ඒ අතින් බලනකොටනම් අපේ රට 2009 අවුරුද්දෙ ගොඩක් වාසනාවන්ත උනා. දැන් තියෙන්නේ රට සංවර්ධනය කරන එක. අපි බලමු අපේ රට ඒ අතින් කොයි තරම් වාසනාවන්ත වෙයිද කියල.

ඒ වගේම මේ අවුරුද්දෙ රටට ගොඩක් වැදගත්වන ඡන්දයකුත් පවත්වන්න යනවනෙ. ඉතින් මම ඔයාලට කියන්නෙ බඩ ගැන හිතන්නෙ නැතිව රට ගැන හිතල මේ රට වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් කොන්ද පණ තියෙන මනුස්සයෙක්ට ඡන්දෙ දෙන්න කියල තමයි.

පළසක් විලස යන මග මල් ඇතිරේවා
අහසක් උසට උස පැතුමන් ඉටු වේවා
දහසක් පහන් දැල්වී මග එලි වේවා
අරුතක් ගෙනෙන සුබ හෙට දවසක් වේවා

Bookmark and Share
Related Posts with Thumbnails