අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කැම්පස් ගියාට පස්සෙ අපි සහභාගි උන පලවෙනි ට්‍රිප් එක ගැන. ඒ තමයි හැම අවුරුද්දකදිම තෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරන ෆැකල්ටි ට්‍රිප් එක. එක. ඉතින් ඒ ගැන වටින් පිටින් විවිධ ආරංචි ආවත් නිළ වශයෙන් අපිට ඒ ගැන දැනුම් දුන්නෙ මෙන්න මේ විදියට.




දෙසැම්බර් 18, 19, 20 කියන දවස් වල තමයි අපේ චාරිකාව යන්න යොදාගෙන තිබුනෙ. ඉතින් අපේ සීනියර් අයියල අක්කලා එයාල කලින් අවුරුදු වල ගිය චාරිකා ගැන කියන කොට අපිටත් අපේ ට්‍රිප් එක යනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. ඒ වගේම අපේ ඩීන් ඇතුළු ආචාර්‍ය මංඩලයත් සහභාගී වෙනව කියල කියල තිබ්බ නිසා බයවෙන්න දෙයකුත් නෑනෙ.මෙන්න ඉතින් අපි ඇඟිලි ගැන ගැන හිටපු දවස ඒ කියන්නෙ දෙසැම්බර් 18 වෙනිද දවස උදා උනා.



උදේ පාන්දරම අවශ්‍ය බඩු මුට්ටුත් ලෑස්තිකරගෙන කැම්පස් එකෙන් පිටහ් වෙනකොට පාන්දර පහට විතර ඇති. බස් රථ පහක් අපේ චාරිකාව සඳහා යොදාගෙන තිබුනා. ලමයි තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් අපේ චාරිකාවට සහභාගී උනා. මරදන්කඩවල හබරණ හරහා අපි පොලොන්නරුවට ලඟාවෙනකොට උදේ අටට විතර ඇති. අපි මුලින්ම ගියේ පරාක්‍රමබාහු රජ මාළිගය බලන්න.

පරාක්‍රමභාහු රජ මාළිගයේ නටඹුන්

ඊට පස්සෙ අපි ගියේ පොලොන්නරුව ගල් විහාරෙ බලන්න. ගල් විහාරය බලල ඊට පස්සෙ අපි ආවෙ පරාක්‍රම සමුද්‍රය ලඟට. එතනදී උදේ ආහාරය අරගෙන ඒ ආසන්නයේම තියෙන අනිකුත් වැදගත් පෞරාණික ස්ථාන නරඹන්නත් අපි අමතක කරේ නෑ. මෙතන තියෙන වැදගත්ම ස්ථානය තමයි පුරාවිද්‍යා කෞතුකාගාරය. පොලොන්නරුවෙ ඓතිහාසික ස්ථාන ගැන වැදගත් තොරතුරු රාශියක් ඔයාලට මෙතනින් දැන ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කවදහරි පොලොන්නරුවෙ යන්න ඉන්නවනම් මේ පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹන්න අමතක කරන්නෙපා.


කාල වෙලාව තිබුන විදියට ඒ සියළු ස්ථාන නරඹල අපි මහියංගනය බලා ගමන් ආරම්භ කරා. අපි දවල් කෑම වෙලාවට මහියංගන රජ මහා විහාරයට ලඟා උනා. දවල් කෑමෙන් පස්සෙ මහියංගන රජමහා විහාරයත් වැඳ පුදාගෙන අපි බදුල්ල බලා ආපහු ගමන් ආරම්භ කරා. ඒ එන අතරමගදි හමුවෙන මහමාන්කඩවල වැව නරඹන්නත් අපි අමතක කරේ නෑ. මම දැකපු වැව් වලින් ගොඩක්ම ලස්සන වැවක් තමයි මේ වැව. ඔයාලත් බලන්නකො මම කියන්නෙ බොරුද කියලා.


බදුල්ලට එන අතරමගදි හමුවෙන තවත් සුන්දර ස්ථානයක් තමයි දුන්හිඳ දිය ඇල්ල. මේ දවස් වල හොඳට වැස්ස තිබුන නිසා දින්හිඳ දිය ඇල්ල ගොඩක් ලස්සනට තිබ්බ. ඒත් අවාසනාවට මගේ ජංගම දුරකතනයෙ බැටරිය බැහැපු නිසා ඒ ලස්සන මගේ කැමරාවට අහුකරගන්න මට නොහැකි උනා. ලංකාවෙ තියෙන ලස්සනම දිය ඇලි අතරින් දුන්හිඳ මනමාලිට හිමිවෙන්නෙ අද්විතීය ස්ථානයක්.

" සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ
හෙලයට සිරිය ගෙනේ............. "

දුන්හිඳ දිය ඇල්ල නරඹල අපි ඊලඟට බදුල්ල මුතියංගන විහාරයට ලඟා උනේ රාත්‍රී නවාතැන් ගන්න බලාගෙන.
ආයෙත් පහුවෙනිදා උදේම අපි අපේ ගමන ආරම්භ කරේ දෙමෝදර දුම්රිය ස්ථානය බලා. ඒත් අපේ අවාසනාවට එදා උඩරට දුම් රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාය යෑමක් හේතුවෙන් අඩාල වෙලයි තිබුනෙ. ඔයාල දන්නවනෙ දෙමෝදර දුම් රිය ස්ථානයේ තියෙන විශේෂත්වය. කොලඹ ඉඳන් එන කෝච්චිය දෙමෝදර දුම්රිය ස්ථානය පහුකරාට පස්සෙ ඒ කන්ද වටේ වටයක් ගිහින් නැවත වතාවක් ඒ ස්ටේෂම යටින්ම ගමන් කරනවා. ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. මේ විදියට එකම කෝච්චිය එකම දුම්රිය ස්ථානය දෙපාරක් පහුකරල යන එකම තැන තමයි දෙමෝදර. ඒ ගැන ඔයාලට පහත රූපයෙන් වඩාත් පැහැදිලිව බලාගන්න පුළුවන් වෙයි.


මේ දුම්රිය මාර්ගය මේ විදිහට ඉදිකෙරුන එක ගැන අපේ ජනප්‍රවාදයේ තියෙන කතාවකුත් මම ඔයාලට කියන්නම්. සුද්දා උඩරට දුම්රිය මාර්ගය ඉදිකරගෙන එනකොට දෙමෝදරදී බරපතල අර්බුදයකට මූණදෙන්න උනාළු. ඒ තමයි කෝච්චිය දේමෝදර කන්ද බස්සන එක. ඉතින් සුද්ද වැඩේ අනාගෙන ඉන්නකොට එතනට ආපු ගමේ මනුස්සයෙක් තමන්ගේ ඔළුවෙ බැඳල තිබුන ජටාව ගලවල දැන් රේල් පාර තියෙන විදියට තියල පෙන්නුවළු. ඉතින් ඒක තේරුම් ගත්ත සුද්ද මේ විදියට කන්ද වටේ දුම්රිය ගමන්කරවල ආයෙත් ස්ටේශම යටින් යන විදිහට රේල් පාර හදල තියෙන්නෙ. කොහොමද ලංකාවෙ මොල. ඒ මනුස්සය නොහිටියනම් තාම සුද්ද දෙමෝදර.


දෙමෝදර ස්ටේශමෙන් පිටත් වෙලා අපි ඇල්ල වැල්ලවාය පාරෙන් කතරගමට ආවා. කිරි වෙහෙර , ඓතිහාසික රුහුණු කතරගම දේවාලය ආදී ස්ථාන වැඳ පුදාගෙන අපි සිතුල්පව්ව පුදබිම බලා ගමන් ආරම්භ කරා. එතනදී දවල් කෑමත් අරගෙන අපි සිතුල්පව්ව පුදබිම වන්දනාමාන කරගෙන කිරින්දට යන්න හිටියත් රෑ බෝ උන නිසා අපි කිරින්දෙ යන්නෙ නැතිව රුහුණු කැම්පස් එකට එන්න පිටත් උනා. ඒ එන අතරමගදි මහින්ද මහත්තයයෙ ගෙවල් ලඟදි ඒ කිව්වෙ හම්බන්තොටදී අපේ බස් එක පොලීසියෙන් නතර කරානෙ. අපි බස් එකේ කෑ ගහනව වැඩියිළු. සද්ද නැතිව සිංදු කියන්නලු. කෑව අපේ ආතල් එක. මේවත් මාර නීති තමයි.


කොහොමහරි අපි රුහුණු කැම්පස් එකටත් ආවා කියමුකො. අපි එන දවසෙ රුහුණෙ පොඩි අව්ලක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් තමයි. මොනව කරන්නද. ඒ අය අපි වෙනුවෙන් සංවිධානය කරල තිබුන වැඩසටහන සම්පූර්ණයෙන්ම අඩාලයි. ඒ උනත් ඒ අය පුලුවන් උපරිමයෙන්ම අපිට සංග්‍රහ කරා. ඉතින් අපි මේක අවස්ථාවක් කරගන්නව එයාලට අපේ ස්තූතිය පුද කරන්න.



පහුවෙනිදා ඒ කියන්නෙ අපේ චාරිකාවෙ අන්තිම දවසෙ අපි ආවෙ පොල්හේන වෙරල තීරයට. ඉතින් එතනදි පොඩි ජොලියක් දාන්නත් අපි අමතක කරේ නෑ. අපි ඉතින් හොඳ ජොලියක් එහෙම දාල නාල කාල ඉවරවෙලා හවස තුනට විතර ආපහු කැම්පස් එකට යන්න පිටත් උනා. අපේ කට්ටිය කැම්පස් එනකොට රෑ දොලහට විතර උනාලු. ඒත් එන අතරමගින් බැහැල මට එන්න පුලුවන් නිසා මමනම් ගෙදර ආව. ඒ ඇවිත් තමයි මේ විදියට ඔයාලත් එක්ක අපේ ෆැකල්ටි ට්‍රිප් එක ගැන විස්තර බෙදා හදා ගන්නෙ. අපේ චාරිකාවෙදි ගත්ත ඡායාරූප ඊලඟ පෝස්ට් එකේදී ඔයාලට ඉදිරිපත් කරන්නම්කො. යන්න කලින් මේ පුංචි වීඩියෝ එකත් බලලම යන්නකෝ.



මේ සේරම ඡායාරූප විඩියෝ ආදිය ලබාගත්තේ මගේ නොකියා 5320 ජංගම දුරකතනයෙන්

Bookmark and Share

ඔයා දන්නවද
ඔයා නැතිව ගෙවෙන
හරි පාළු වෙලාවකදි
කවුරුත් නැති තැනකට ගිහින්
මම පුංචි ගාණක් හදනවා...

ඔන්න මම මාව ගන්නවා...
පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..
දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...
බිංදුවයි.
හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්
ඉන්නවද... ම්.. නෑනෙ.

ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවා
පස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්
අඩුකරනවා...
උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවා
ඔයාට පුදුම හිතෙයි
උත්තරය බිංදුවයි
එතකොට හිතන්න වස්තුවේ
ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ පපුවෙ වෙන කිසිදෙයක් නෑ නේද කියලා

මම මාව ගන්නවා
පස්සෙ මගේ ආදරේ ගන්නවා
ඊටත් පස්සෙ මගෙ පුංචි ජීවිතෙ ගන්නවා
මං එක පෙලට පුංචි සමීකරණයක් හදනවා
මම + මගේ ආදරය + මගේ ජීවිතේ...
අවසානයට මම ලකුණක් දාල ඒ ඔක්කොම
එකට එකතු කරනවා
ඔයාට හිතාගන්න පුළුවන්ද ලැබෙන උත්තරය
මමයි මගේ ආදරයයි... මගේ ජීවිතයයි
එකතු කලාම ලැබෙන උත්තරය
ඔව් ඒ ' ඔයා'...

මම මගේ පුංචි අහිංසක හිතේ
සතුට ගන්නවා...
අනේ රත්තරන් ඒක දශම ගානක්
ඒත් මම ඒ පුංචි ඉලක්කම
මගේ හිතේ සතුට කියන පුංචි අගය
ඔයාගෙ ආදරෙන් වැඩි කරනවා
මටම පුදුමයි
මට උත්තරය ලෙස ලැබෙන්නෙ
අනන්තයක්... ගණින්නට බැරි තරම් ගනනක්
ඔයා මගේ ජීවිතේ සතුට කොයිතරම් හදනවද
මම මේ විඳින්නෙ
ඒ සතුටනෙ ර..ත්..ත..ර..න්

ඔයා අහයි ඇයි බෙදල බලන්නෙ
නැත්තෙ කියලා
අනේ මගේ අහිංසක මෝඩයෝ...
ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
හදවත කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
බෑ මමවත් මගේ ආදරේවත් මගේ හදවතවත්
මම බෙදන්නෙ නෑ
ඒ වගේම මම ඔයාවත් ඔයාගෙ ආදරේවත්
ඔයාගෙ හදවතවත්
බෙදන්න ඉඩ දෙන්නෙත් නෑ .....

ඉතින් මම ආයෙත් ' ඔයාව ' ගන්නවා
පස්සෙ මාව ගන්නවා...
පස්සෙ ඔයාවයි මාවයි එකට
එකතු කරනවා ....
අනේ කොච්චර ලස්සනද
ඔයා දන්නවද
මට ආපු උත්තරේ ....
නිකමට හිතල බලන්න
ඔයා + මම = .....
මොකක්ද උත්තරේ .....
ම්.... ඔයා හරි.

කවදද අපි එහෙම එකතු වෙන්නෙ
මෙහෙම දෙතැනක ඉඳල
අපි කොහොමද අපේ සිහින
සැබෑ කරගන්නෙ .....

ජීවිතේ අමාරුයි .. මං දන්නවා
මං නිසා ජීවිතේ මහ ගොඩක් බර
ඔයාගෙ ඔළුවට ආවොත්....
අනේ ඔයාට දුක හිතෙයි ...

ඒත් හීන කියන්නෙ හැබෑනොවෙන ඒවට නෙමේ නේද ...
ආදරේ කියන්නෙ තාරකාවක් නෙමෙයි නේද.....
මං ආස ඔයාගෙ ලේ රස්නය
මගෙ පපුවට දැනෙනවට ....
ආදරය දුර ඉඳන් විඳින්න මම දන්නෙ නෑ..
බලාපොරොත්තු උනත් කාලයක් යද්දි
ඇල් වෙන්න බලනවා ....

මට කියන්න
මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ
ඇයි දන්නවද එහෙම අහන්නෙ
ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි
හිතෙන්නෙ හරියට
මං ජීවත් නොවෙනවා කියලයි ...

හරි ඉක්මනට ... මටත් ...
ජීවිතේ හැඩ බලන්න ආසයි
තනියම නෙමෙයි ... ඔයා එක්ක ...

ඉතින් රත්තරන්
කියන්නෙ එක දෙයයි
ඉක්මනට බැඳල
හෙමිහිට ජීවත් වෙමු .....


මේක මගේ කලින් බ්ලොග් එකේ තිබුන සටහනක්. ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමක් නිසා ආපහු දාන්න හිතුව. දන්නවනෙ කව්ද මට මේක එව්වෙ කියල. නොදන්න අයත් ඇතිනෙ. එයාලට දැනගන්නත් එක්ක කියන්නම්කො. මට මේක එව්වෙ හංසි

http://www.elakiri.com/forum/showthread.php?t=396967

Bookmark and Share


දිනක් මිල්ටන් මල්ලවාරච්චියන්ගේ නිවසට ප්‍රේමකීර්ති ද අල්විස් පැමිනියේ අහම්බයකිනි. ඔහු පැමිණෙන විට මිල්ටන්ගේ කුඩා දියනිය පියාගේ අතින් අල්ලාගනිමින් සෙමින් පියවර තබමින් උන්නාය.
එය දුටු ඔහුට එම කුඩා දරුවා පිළිබඳ මහත් ආදරයක් ඇතිවිය.

" මොකක්ද මචන් පොඩි එකාගේ නම ? " ප්‍රේමකීර්ති මිල්ටන්ගෙන් විමසුවේය.

" හර්ෂනී ... "

" මට දියන් කොලේකුඉ පෑනකුයි ..." ප්‍රේමකීර්තිගෙන් ඉල්ලීමකි.

ඔහුගේ අවශ්‍යතාව වහා මිල්ටන්ගෙන් ඉටුවිය. ඉන් අනතුරුව ප්‍රේමකීර්තිගේ පෑනෙන් ලියවෙන්නට වූයේ එදා මෙදා තුර රසික ජනයාගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අපූර්වතම ගීතයකි.

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගාව සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව
මල් සුවඳයි පින් සුවඳයි ....

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී ....

රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක
ඈත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන
මුමුනන්නම් නලවන්නම් ...

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී ....

mp3 ගොනුව මෙතනින් බා ගන්න

Bookmark and Share

අහිමි බව දැන දැනත් ආදරය මගහරින්නට බැරි හැටි

වරක් දුටුවිට තව වරක් දැකගන්නට හිත පෙරුම් පුරනා අපූරුව


කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරි
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හිංදා
සුලඟට සියුම් දාහක් කන් ඇති හිංදා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හිංදා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්ට බැරි

ගායනය :- නන්දා මාලිනී


mp3 ගොනුව මෙතනින් භාගත කර ගන්න

මෙහි මුලින් සඳහන් පාඨයන් උපුටා ගනු ලැබුවේ කරුණාසේන ජයලත් මහතාගේ බඹා කෙටූ හැටි නව කතාවේ නව මුද්‍රණයේ පිට කවරයෙනි

Bookmark and Share

ඇයගේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිව මා ඇගෙන් ඒ ගැන විමසූ නමුදු මුණිවත රකිනු හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබුණි. විභාගයට ඇත්තේ තව මසකට ආසන්න කාලයකි. ඇය හදිසියේම පංති පැමිනීමද නවතා දැමුවාය.

" ඉසුරු ඔයාට දෙයක් කියන්න තියෙනවා ..." දිනක් ඈ මාහට පැවසුවාය

" හ් ... ම් කියන්න "

" ඔයා තරහවෙන්නෙපා ඉසුරු මේක කලින් නොකිව්වට මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. සත්තයි " ඈ බැගෑපත් හඬින් පැවසුවාය

" අයියෝ පිස්සුද? ඔයා දන්නවනෙ ඉතින් මට ඔයා එක්ක තරහවෙලා ඉන්න බැරි බව "

" ඉසුරු ඔයාට අපේ සුදු අයියව මතකද ? "

" මොකද නැත්තේ . ඉස්සර මම ඔයාට ආදරෙයි කියනකොට ඔයා මට කිව්වෙ ඔයා එයා එක්ක යාළුයි කියලනෙ " මා ඇනුම් පදයක ස්වරයෙන් කීවෙ ඈ ඉස්සර මට රිදවූ අයුරු මතක් වීමෙනි.

" ඒක බොරුවක් නෙමෙයි ඉසුරු. ඇත්තටම එහෙම එකක් තිබුන. මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. ඒත් මට බය හිතුන. "

" හ්..ම් කමක් නෑ. පරක්කුවෙලා හරි ඇත්ත කිව්වනෙ ..."

" අනේ මට සමාවෙන්න ඉසුරු .... "

" බෑ..... සමාව දෙන්නෙ නෑ...... "

ඈ තරමක් විශ්මයෙන් මෙන් මා දෙස බැළුවාය.

" ඇයි මෝඩියෙ ඔයාමනෙ කිව්වෙ ආදරේ කරන අය අතරෙ සමාව නෑ තියෙන්න ආදරේ විතරයි කියල.... " මා ඇගේ කනින් අදිමින් පැවසුවෙමි.

" ඌ...යි: කියාගෙන පැමිනි ඈ නතර ඌයේ මාගෙ තුරුලේය. මෙතරම් නොවැදගත් දෙයක් නිසා මා හා කතා නොකර සිටීම ගැන මට ඈ ගැන තරමක කේන්තියක්ද නැගුණි. එහෙත් ඈ වෙනදා මෙන් මා සමග හැසිරුනේ නැත.

විභාගය ආරම්භ වූයේ මේ අතරතුරදීය. ඈ ගියවර මෙන් මෙවර මා හමුවීමට පැමිනියේ නැත. දෙදෙනාටම එකම විට විභාගය ඉවරවෙන දවස් වලදී උවද අප හමුවූයේ පුරුද්දකට මෙනි. එහි කිසිදු ලෙංගතු කමක් නොවීය. ඈ කුමක් හෝ ප්‍රශ්නයකින් පෙලෙන බව දක්නට ලැබුනද එවැන්නක් ගැන විමසූ විට ඇගෙන් කිසිදු පිළිතුරක් නොවීය. විභාගය අවසාන දින අපි කලින් වතාවක කතිකා කර ගත් පරිදි ඇගේ යෙහෙලියකගේ ගෙදර ගියෙමු. ආපසු එන අතර මගදී ඈ මා හා සුපුරුදු ලෙස කතාවට වැටුනාය

" ඉසුරු අයිය කියල එයා මාව කසාද බඳින්න කැමතියි කියල.... "

මට තරමක සිනහවක්ද පහල විය.

" ඉතින් ලමයො දැන්ම බඳින්න වයසක්ද ? "

" ඒ උනාට ඉසුරු ........"

" ඉතින් අම්මල මොකද මේ ගැන කියන්නෙ...? "

" අම්මනම් මොකුත් කිව්වෙ නෑ. එයාල දන්නවනෙ අපි ගැන. තාත්ත තාම දන්නෙ නෑ. එයානම් කොහොමත් කැමති වෙන්නෙ නෑ ඕකට... "

" මටත් අකමැති වෙයිද දන්නෙ නෑ කවදහරි..."

" නෑ ඉසුරු. එයා ඔයාට කැමතියි..."

" ඒ උනාට අම්ම කැමති නෑ නෙ. එයා ඉතින් එදා ඉඳන්ම ඔයාට කියනවනෙ එක වයසෙ දෙන්නෙක් කවදාවත් හරියන්නෙ නෑ කියල...."

තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඉතුරු වී තිබියදී වෙන්ව යන්නට අපිට සිදුවිය. අම්මලා දඹදිව ගොස් සිටි බැවින් නිවසේ තනිවම සිටි මා ගැන ඈ හැකි සෑමවිටම සොයා බැළුවාය.

" ඉසුරු මට ඔයාව හම්බෙන්න ඕන. අම්මල දැන්ම එයිද ? "

" ඔව් මටත් ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න. හුඟ දවසකින් කොහෙවත් යන්නත් බැරි උනා ......."

" ඉසුරු අපි අර හැමදාම නිදහසේ ඉන්න වෙරලට යමු.. මට ඔයත් එක්ක ටිකක් තනි වෙන්න ඕනා......."

" ඉතින් නුඹ නෑවිත් ඉන්නනම් එපා
පෙරුම් පුරමින් මම ඉන්නවා බලා
මුදු අතින් ගෙන නුඹගේ
සෙමින් ඇවිදින්නට සුදු වෙරල දිගේ ....."

එහෙත් එය වචනවල පමනක් සීමාවූ හමුවීමක් විය. ඈ නැවතත් සුපුරුදු ලෙස මා මග හරින්නට විය. මේ අතර ඈ පරිගනක පංතියකට සහභාගී වූ නමුදු මට එවැන්නක අවශ්‍යතාවයක් පැන නැංගේ නැත. එහෙත් ඈ හොඳයැයි පැවසූ නිසාවෙන් හා ගෙදරට වී නිකරුනේ කාලය කා දැමීම අපරාදයක් වූ බැවිනුත් මා ද ඉංග්‍රීසි පංතියකට සහභාගී වූයෙමි. ඈට හා මට එකම වෙලාවට පංති අවසාන වූ නමුදු ඇයට මා හට පෙර බස් නැවතුම් පොල වෙත ලඟාවිය හැකි විය. ඈ කිසි දිනෙක මා එනතුරු ටවුමට වී සිටියේ නැත. හැමවිටම මා මග හැර ගියාය. එක් දිනක් කෙසේ හෝ ඈ සිටි බස් රියට නැග ගැනීමට මා හට හැකිවූ නමුදු ඈ එකදු වචනයක්වත් මා හා කතා කලේ නැත.

අවසානයේ ඇගෙ යෙහෙලියකගේ සහය ලබා ගැනීමට මා හට සිදුවිය. ඇගෙන් ලද ඔත්තුවකට අනුව දිනක් ටවුමේදී ඈ අල්ලා ගැනීමට මට හැකි විය. ඈ එවරද මා මග හැර යාමට උත්සාහ කල නමුදු මගෙන් ඊට බුරුලක් නොලැබුණු තැන ඈ නතර විය.

" ඉසුරු මට යන්න දෙන්න. මෙහෙම ටවුම මැද්දෙ කතා කර කර හිටියම මිනිස්සු මොනව හිතයිද ? "

" මොනව හිතන්නද ? හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ... "

" මට යන්න දෙන්න ඉසුරු. පරක්කු වෙනවා...."

" බෑ.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන "

" මොනවද ? "

" හැමදෙයක් ගැනම .... "

" හ්...ම්. එහෙනම් ලබන බදාදට එන්න. මම ඉන්නම් ඔයා එනකම්... "

එහෙත් එම බදාදාව උදා වූයේ නැත. මෙම හමුවීමට පසුදිනම අපගේ විභාගයේ ප්‍රතිපල නිකුත් විය.දෙමව්පියන්ගේ මෙන්ම ඇයගේද බලාපොරොත්තු ඉටුකරමින් මා බලාපොරොත්තු වූවාටත් වඩා ඉහල ප්‍රතිපලයක් මට ලැබී තිබුණි.එහෙත් ඇයට මාගේ ප්‍රතිපලය ගැන එතරම් ගනනක් නැතිවා සේය. එදිනට පසුදින මා ඇගේ නිවසට ගියෙමි. නිවසේ වූයේ ඇයත් මල්ලිත් පමනි. මල්ලී අප දෙදෙනා සාලයේ තනිකර කාමරයට ගියේ ඈ විසින් කලින්ම කියා තිබුන පරිද්දෙනැයි මට සිතුනි. නැත්නම් වෙනදාට ඔහුද අපේ කතා බහට හවුල් වීම සිරිතයි. ඈ කුමක් හෝ දෙයක් කීමට උත්සාහ ගන්නා බව පෙනුනද ඒ කුමක්දැයි මා විමසුවේ නැත.

" ඉසුරු මාව තවත් ඔයාට අයිති නෑ.... " ඈ තරමක දුබල හඬකින් පැවසුවාය.

" ඒ කිව්වෙ ....."

" මම දැන් වෙන කෙනෙක්ගෙ ඉසුරු ........"

" කව්ද ඒ. මම දන්න කෙනෙක්ද ? "

" ඔව් ඉසුරු..... ඔයා දන්නවා "

" ඒ කිව්වෙ ඔයා අයියට ......"

" ඔව් ඉසුරු ........."

පළමුව දෑසට කඳුලක් නැගුනේ ඇයගේද මගේද යන්න මට මතකයක් නැත. මගේ පපුවට තුරුලු වූ ඇ‍ය මගේ කමිසය ඇගේ කඳුලින් තෙත් වනතුරුම හැඳුවේය......

" ඉසුරු කවදාවත් මට සමාව දෙන්නෙපා. සමාවටවත් සුදුසු කෙනෙක් නෙමෙයි මම "

" සමාව ගන්න ඔයා නෙමෙයිනෙ මමනෙ වැරදි. ඒකනෙ ඔයා මාව දාල ගියේ ......"

" පිලිගන්න ඉසුරු ඔයා නෙමෙයි වැරදි කරේ. මගෙ චපල හිතයි වැරදි කලේ ... "

" ඔයා ගැන වැරදියට හිතන්නෙපා. ප්ලීස් එහෙම හිතන්නෙපා. පුලුවන්නම් මාව දාල ගියේ ඇයි කියනවද ? "

" කියන්නම් ඉසුරු. ඒත් දැන්ම නෙමෙයි. කවදහරි මම ඒකට උත්තරේ දෙන්නම් ......."

" අම්මත් මට බැන්න ඉසුරු ඔයාට මෙහෙම කරපු එකට......"

" ඒ කියන්නෙ අම්මත් හැමදේම දන්නව..."

" එයාට දැනෙන්න ඇති ඉසුරු "

" ඒ කියන්නෙ ඔයා මාව දාල ගියා කියල නොදැන හිටපු එකම කෙනා මමද ? "

" එහෙම කියන්නෙපා ඉසුරු. මම පුලුවන්තරම් උත්සහ කරා ඉසුරු.ඒත් මට ඔයාව තේරුම් ගන්න බැරි උනා ඉසුරු.මම ඔයාට හැම දේම කියල ලියුමක් ලිව්ව. ඒත් ඒක ඔයාට දෙන්න මට හිත දුන්නෑ ඉසුරු මගෙ පවට ..... "

" මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ඉසුරු ......."

" ඒ කියන්නෙ ඔබහට පෙම් කල යුගය නිමාකොට වෙන්වීයන්න දවස පැමිණ ඇත... එහෙමද ? "

" දෙයියනේ ඉසුරු මාව තවත් අඬවන්නෙපා. මම ඔයාව මට නැතිවෙයි කියල මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඇඬුවෙ මෙහෙමයි. ඒත් දෙයියනේ අද ඇත්තටම මට ඔයාව නෑ ........."

" මම දන්නෙ නෑ මොනව කරන්නද කියල.. මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ........"

" ඉසුරු ඔයා කවදහරි හොඳ තැනකට එන්න. මගෙ සතුට ඒකයි. ප්ලීස් ඔයාගෙ ජීවිතේ විනාස කරගන්නෙප. එහෙම උනොත් පව් පිරෙන්නෙ මට. කවදහරි ඔයා ගැන හිතල සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න. "

අප අතර නැවතත් දිගු නිහැඬියාවක් හට ගැනුනි. ඇගේ දෙමාපියන් මේ වන විට නිවසට පැමින තිබුනත් කිසිවෙකු සාලයට පැමිනියේ නැත.

" ඉසුරු දැන් ගොඩක් රෑ උනා. ඔයා ගෙදර යන්න ...."

" හ්..ම් මම යන්නම් එහෙනම් "

" ඉසුරු ගෙදර ගිහින් ඔයාගෙ එකෙන් නෙමෙයි. ගෙදර එකෙන් මට මිස් කෝල් එකක් දෙන්න....."

" ඒ තරමට මාව සැකද ? "

" සැක නෙමෙයි. මට බයයි ඉසුරු. මගදි ඔයාට මොකුත් උනොත්..."

ඇය මේ පවසන්නේ මීට පෙර දිනයක මා ඇක්සිඩන්ට් වීමට ගොස් අනූනමයෙන් බේරුනු අවස්ථාවක් සිහියට නැගීමෙන් විය යුතුය...

නිවසට පැමිනෙන විට රෑ නමය පසුවී තිබුනි. නිදාගන්නට ගිය නමුත් නින්ද අහලකවත් නොවීය. ඈ මැදියම් රැය වනතුරුම කෙටි පණිවිඩ එවනින් මා සැනසීමට නොයෙක් දේ කීවද ඒ කිසිවක මා හැර යාමට හේතුවක් සඳහන් නොවීය. මගේ ආදරය ඈට තේරුම් ගත නොහැකිවීයැයි ඈ පවසන්නේ ඇයි ...."

" ඔයා මං වෙනුවෙන් නිදි මරන්නෙපා. ඔයා පව්නෙ පැටී ..."

ගෙදර අය මට ආමන්ත්‍රනය කරන නමින් ඈ මා ඇමතූ මුල්ම වතාව එය විය.

" ඉසුරු ඔයා වගෙ යාළුවෙක් මේ ආත්මෙදි හම්බෙන්නෙ නෑ. සත්තයි ඉසුරු ඔයා දෙවි කෙනෙක්. ඔයාව තේරුම් ගන්න බැරි උනේ මගේ පවට. මම අම්මෙක් සහෝදරියෙක් වගේ ඔයා ගැන හැමදාම ඔයා ගැන බලනවා. ඒක මගෙ යුතුකම. පිං නොකරපු පවට අපි වෙන්වෙමු ....."

" දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක
පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක
මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර
ලියා තිබුන දුක් ගීයකි අපේ සෙනෙහස.... "

ඈ මට තිලින කල රෝස අතු සියල්ල මල් පිපීමටත් පෙරම මැරී වියැලී ගියේ අපේ ආදරයේ මල් පිපෙනු දැක ගන්නට තරම් අපට වාසනාවක් නොමැති බව පසක් කිරීමට මෙනි. එහෙත් තවමත් ඉතිරී වී ඇති වියැළී ගිය රෝස අතු නටඹුන් වූ අප අතීතය අදත් මාහට මතක් කර දෙයි. දෙල්ලව බස් රිය අදත් සුපුරුදු ලෙස කොළඹ බලා ගමන් කලත් අප ගෙවල් පාරෙන් නොපැමිනෙන්නේ වෙනදා මෙන් එයට වැලිපැන්නෙන් ගොඩවී ආදරයෙන් හමුවීමට දෙදෙනෙකු නොමැති දුකට විය හැක. එහෙත් අවසානය මෙයම වෙයිද ......

http://www.elakiri.com/forum/showthread.php?t=698758

Bookmark and Share


සංසාරේ හුරු සුවඳ දැනෙනවා ඉන්නා විට මා ඔබේ ලඟින්
බලන්න දෙනෙතේ කඳුළු පිරෙනවා ඔබේ නමින්
හැමදාමත් ආදරය විඳින්නට මා කළ පින් මදි නිසා ඉතින්
කියන්න නික්මී යන්න අවසරද හීන පුරපු නෙතු පියන් යටින් ...

සදාකාලිකයි මා සිත පතනා ඔබගේ ඔය පින්සාර සිතින්
විදින්න සිසිලස අකැප මුත් මට බලා හිඳින්නම් සැඟව දුරින්
කිසිම දිනෙල යලි නොඇසෙන මුත් ඔබෙ මුවගින් ගිලිහෙන සොඳුරු වදන්
අහන්න දුර සිට සැමදා මා පතනා සුපැතුම් ඔබ සිහින් සරින්

මුව ගොළුවූවට නිල්නෙතගින් ඔබ මට පැවසූ ඒ සොඳුරු රහස්
සිතන්න සැමදා තියේවි සැඟවි නිල්වන් තුරුගොමුවලට යටින්
ඔබවම පතනා නෙත යම් දිනයක පුරවාලා තුටු කඳුළු දියෙන්
කියන්න මිතුරියෙ යලි ඔබ එනවද අරගෙන ගිය මගෙ සිතත් අරන් ...

Bookmark and Share

ඉතින් කොහොමද ? ගොඩ දවසකින් මේ පැත්තට එන්න බැරි උනානෙ. සුදු මහත්තයට කැම්පස් පටන් ගත්තනෙ. සුදු මහත්තයා දැන් ඉන්නෙ රජරට. ඒ කියන්නෙ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ. ඉතින් ඒකයි මේ ටිකේ මේ පැත්තෙ එන්න බැරි උනේ. දන්නවනෙ ඉතින් කැම්පස් ගිය අලුත. මගෙ ආදර කතාව බලපු ගොඩ දෙනෙක් හැමදාම අහන දෙයක් තමයි කවදද දෙවෙනි කොටස දාන්නෙ කියන එක.


ඉතින් ඔන්න මම ගෙදර ආපු ගමන් කලේ ඔයාල වෙනුවෙන් දෙවෙනි කොටස ලියපු එක. ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන් ඒකෙ දෙවෙනි කොටසත් බලලම යන්න. ඒක පරක්කු උනාට මට බනින්නත් ඇති නේද ? සමහර විට අපේ ගෙදර අයත් බැනුම් අහන්න ඇති. මොනව කරන්නද ? සුදු මහත්තයා හිතල කරපු දෙයක් නෙමෙයි නෙ.


ඔන්න බ්ලොග් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් කරා. අළුත් ටෙම්ප්ලේට් එකකුත් හයි කරා. දැන්නම් ඉතින් හිතට පුංචි සැහැල්ලුවකුත් දැනෙනවා . මොකද ඉතින් පොරොන්දුව ඉටු කරගන්න පුළුවන් උනානෙ. සඳුදා වෙනකොට තුන්වෙනි කොටසත් දෙන්නම්කෝ.

Bookmark and Share

ඇගේ ආදරය ලැබීමත් සමගම ජීවිතය නව මගකට යොමු වූවා වැනිය.ඇය දිනෙන් දින ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය. අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් , හීනයක් නොතිබූ මා ඈ නිසා ජීවිතය ගැන අනාගතය ගැන හීන දැකීමට පුරුදු උනෙමි.

" ඉසුරු .... "

" හ් .. ම්...ම් "

" මම ඔයාට සුදු මහත්තයා කියන්නද ? "

" ඒ ඇයි ? "

" ආ...දරේටනෙ මෝඩයෝ ... "

" එතකොට මම ඔයාට මොකක්ද කියන්නේ.... "

" ඔයා කැමති එකක් කියන්න "

" හ්ම්.. එහෙනම් ඔයා සුදු මැණිකෙ හොඳයිද ? "

" ඒක ඔයාගෙ කැමැත්තක් ... "

කෙමෙන් කෙමෙන් උසස් පෙළ විභාගයට දින ලං වෙන්නට විය. මගේ පාඩම් වැඩ ගැන මට වඩා උනන්දු වූයේ ඈය. සෑම දිනකම පාන්දර 5ට ඇහෙරෙන ඇය ඒ වෙලාවට මාවත් අවදි කරවයි. විභාගය පටන් ගත් පලමු දිනයේම ඈ මා හමුවීමට පැමිනියේය.

" ඉසුරු මේ ටික තියාගන්න එක්සෑම් ලියන්න "

ඈ මා හට පෑනක් , පැන්සලයක් , මකනයක් හා පැන්සල් උල් කරනයක් තෑගි කලාය. පෑන හැරෙන්නට අනෙකුත් සියළු දෑ තවමත් මගේ අල්මාරියේ සුරැකිව ඇත.

" අපිට දැන් ඉස්සර වගේ හැමදාම හම්බෙන්න බැරිවෙයි .... "

" ඔයා එහෙනම් මට ලියුම් ලියන්න.මාත් ඔයාට එවන්නම් .... "

මෙලෙසින් අප අතර ලියුම් ගණුදෙනු කිරීම ආරම්භ විය. පංති යන කාලයේ මෙන් නිතරම හමුවීමට අවස්ථාවක් නොලද බැවින් දින දෙක තුනකට වතාවක් ලැබෙන ලියුම අප අතර ආදරය වර්ධනය කිරීමට සමත් විය. මේ අතර දිනක්.....

" ඉසුරු අපි කොහේ හරි යමුද දවසක "

" කොහෙද ? "

" කොහෙ හරි.. ඔයයි මමයි විතරක් ඉන්න තැනකට ... "

" කොහෙද ඉතින් එහෙම තැනක් තියෙන්නෙ .... "

" අනේ ඔයා හිතන්නකො. ඔයා ඉතින් මට වඩා දන්නවනෙ "

" එහෙනම් අපි බීච් යමු... "

" ම්ම්ම්ම් මට බයයි ... "

" බයවෙන්නෙපා අපි කලින් හිටියෙ ඉඳුරුවෙනෙ. අපි එහෙ යමු. මම දන්නවනෙ ඒ පැත්ත ගැන ..... "

එදා අපි මුහුදු වෙරලේදී හමු උන ඒ උදෑසන දෙදෙනාගේම (?) ජීවිතයට කිසිදා අමතක නොවන දිනයක් වූවාට සැකයක් නැත. පලමු වතාවට ඈ මගේ උණුහුමට තුරුළු විය. ඉන් අනතුරුව වෙනදා මෙන්ම තොර තෝරංචියක් නැතිව අප අතර ඇරඹෙන කතා බහ ආරම්භ විය.

" ඉසුරු අපි යන ගමන් කන්දෙවිහාරෙත් ගිහින් යමු.... "

" හ් ම් .. "

" ඔයා මොනවද බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ ". මම ඇගෙන් විමසුවෙමි.

" ඔයාව.. " ඈ සුරතල් තාලයකින් පැවසුවාය.

" ලෝකය කොච්චර විශාලද
මොනතරම් සංකීර්ණද
ඒත් මං පතන්නෙ ඔයාව විතරයි
ඒක මොනතරම් අහිංසක ප්‍රාර්ථනාවක්ද
ලෝකයක් අමතක කරලා මං ඔයාව පතනවා
ඇත්තටම ඔයා කියන්නෙ මගේ ලෝකය .... "

අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන් බලාපොරොත්තු වූයේ එම ප්‍රතිපලය නොවන බව මම දැන සිටියෙමි. ඈ එදා හොඳටම ඇඬුවාය. ඇගේ ප්‍රතිපලයද තරමක් පහත් මට්ටමක පැවතියද ඈට ඒ ගැන කිසිදු ගානක් නැත. ඈට ඈ ගැන දුකක් නැතිවා සේය. ඈ දුක් වූයේ මා ගැනය.

ජීවිතයේ ප්‍රථම වතාවට මට මා ගැනම කලකිරීමක් ඇතිවූයේය. ඈ හැඬුවේ බොරුවට නොවන බව පැහැදිලිය. මට මේ තරම් ආදරය කරන ඇගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වූයේය. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවී ඈගේ බලාපොරොත්තුව ඉටු කල යුතුයැයි මගේ සිත මට පවසන්නට විය. මේ සියල්ලම ඈ වෙනුවෙනි. මට මවක මෙන් ආදරය කරන ඈ වෙනුවෙනි.

මේ අතර මා නිතරම අසනීප වීම නිසා අම්මා මගේ කේන්දරය බැලෙව්වාය. මට තදබල අපල පවතින බැව් පවසා තිබේ. මා විසින් ඇයටද මේ බව සැල කලෙමි.

" ඉසුරු ඔයාට ඔය තරම්ම අපල නම් අපි බෝධි පූජාවක් තියමු."

" අනේ මන්ද. කොහොමද ඉතින් ඕක කරන්නෙ.."

" ඔයා ඉන්නකො මමනෙ කරන්නෙ.... "

ඉන් පසු එලඹි පෝය දිනක මාත් ඇයත් ඇගේ සහෝදරියකද සමග ඇගේ නිවස ආසන්නයේ පංසලට ගියෙමු.
යන්නෙ කොහෙදැයි ගෙදරට නොකිව් නමුදු මා ගෙදර එනවිට සියල්ලෝම සිදුවූ සියල්ල දනිති. අම්මා නම් කිසිත් කීවේ නැත.

" අනේ හොඳයි ඔහොමවත් පංසලකට යනවනම් ... " ඒ හඬ අක්කාගෙනි.

ජීවිතය වඩාත් සුන්දරව ගලාගෙන යයි. වරෙක රණ්ඩු වන අපි දෙදෙනා ඊටත් වඩා ආදරයෙන් නැවත එක්වේ. එහිද එක්තරා සුන්දරත්වයක් ඇත. වරෙක මම ඇය මුණගැසීමට ඇගේ නිවසට යන්නෙමි.

" ඉසුරු ඇයි ඔයාට සනීප නැද්ද ? "

" ම් හු... "

" අදත් ඔළුව රිදෙනවද ? "

" ඔව් අප්පා..."

" මම තෙල් ටිකක් දාල අත ගාන්නද ? "

" මල්ලිත් ඉන්නවනෙ. කමක් නැද්ද ? "

" අව්ලක් නෑ. ඉන්න ... "

ඈ තෙල් බෝතලයකුත් රැගෙන මා අසලට පැමිනේ. ඉන් අනතුරුව මගේ හිස ඇගේ ලමැදට තුරුළු කරගෙන මගේ ඔළුව පිරිමදියි. මට දැනෙන්නේ කුඩා කල අම්මාගේ උණුහුමට තුරුලු වූ වූවිට දැනෙනා අන්දමේ හැඟීමකි. සැබැවින්ම ඇය විටක අම්මා වැනිය. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා වැනි අවවාද රැසකි. මා ඇයට කීකරු වී ඒ අවවාද සියල්ලම පිළිගත්තේ ඇය මා හට ඇති දැඩි ආදරය නිසාවෙනි.

අපේ ජීවිත වල නැවතත් වැදගත් සන්ධිස්ථානයක් එලඹ ඇත. ඒ උසස්පෙළ විභාගයයි. එහෙත් සතුට පවතින්නේ කොතරම් කෙටි කලක්ද ?

" ඉසුරු මාව අමතක කරන්න.......

Bookmark and Share

බ්‍රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ කට හඬය.බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා සිදූ වූ දෙයක්ද නොදනී.


බස් රථය නැවතුම් පොලක නතර කිරීමෙන් පසු එයට ගොඩවූයේ මා මීට පෙර හොඳින් දැක පුරුදු බවක් දැණුනු කෙල්ලෙකි. ඒ පසුගිය දවසක පංති ඇරී ගෙදර එනවිට දුටු මා ඇසිපිය නොහෙලා බලා සිටි ඈ ම බව විශ්වාසය. ඈ ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකිව ලතැවෙමින් සිටි මා හට ඈ මා සිටි බස් රියටම ගොඩවීම පුදුම සහගත සිද්ධියක් විය. ඈ යන්නේ මා යන පංතියටම බව ඈ අත තිබූ පොත් මිටිය අතර රැඳි ෆයිල් කවරයෙන් තේරුම් ගත හැක. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙනවා යැයි කියන්නේ මේකටය. කෙසේ හෝ ඇය සමග කතා කිරීමේ අදහසින් ඈ අසලට ඇදී ගියද කකුල් දෙක මැන්ඩලීන් ගසන බව දැනේ. කරන්නට කිසිම දෙයක් නැත. බස් රථය කළුතරට ලඟාවී අවසානය. කරන්නට දෙයක් නැත. ඈට මාහට ඉස්සරවී බසයෙන් බැසීමට ඉඩ දී මා බැස ඈ සොයනවිට ඈ පාර මාරුවී අවසානය. පංතිය අවසානවි හෝ ඇය සමග කතාකිරීමේ සිහිනයද සිහිනයක්ම වූයේ " ආ එහෙනම් ගෑණු ලමයි මුලින් යන්න " යනුවෙන් ගුරුවරයා පවසද්දීය.



ඊලඟ දිනයේ ඈ සුපුරුදු ලෙස බසයට නැග්ගේ නැත. ඈ පංති ආවේද නැත. ඉන්පසු දිනයේ ඈ සුපුරුදු ලෙසම බසයට ගොඩවිය. යාළුවෙකුද සමග ඈ අසලට ගියේ කතා කිරීමට උවද වචන පිටවෙන්නේ නැති තරම්. අදත් වෙන්නේ එයා දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්න තමා. ගමනාන්තයට දැන් හොඳටම ආසන්නය. කොන්දොස්තර එතනට පැමිනි විට ඈ එකවරම ටිකට් ඉල්ලුවාය.


" ආ මෙන්න මෙයා බස් එකේ හොරෙන් ඇවිත් "


ගොලුවී තිබූ කට විවෘත වී ඇත. සැනෙකින් සිතට නැගුනේ දැන් ඉතින් උදේ පාන්දරම බඩ කට පිරෙන්න අහගන්න වේයැයි ක්ෂනික බියකි. බස් එකේදි කෙල්ලන්ට විහිළු කරන්නෙපා යැයි යහලුවන් කොතෙක් කිව්වද මට කෙල්ලෙක් දැක්ක ගමන් ඒක අමතක වේ. කෙල්ලෙක් රැව්වේ නැත්නම් මට නින්ද යන්නෙ නැත. ඇයගෙන් බැනුම් ඇසීමට සිදුවේ යැයි සිතුවද ඇගෙන් ලැබුනේ අහිංසක සිනාවක් පමනි. ඇගේ ප්‍රතිචාරය හොඳය. කතා කරනවනම් මෙන්න චාන්ස් එක. ඒත් ඇය සමග මොනවා දොඩන්නද ?

"ඇයි නංගි දොඩන්නැත්තෙ "

"මේ අවාරෙනෙ අයියා"

ඇය පසුදවසකනම් මා හා එසේ දොඩමළු වී ඇත.

අනතුරුව මාහට මතක් වූයේ ගිය සතියේ ප්‍රසන්න සර් කරපු පාඩමයි. එහිදී ඔහුට රතු පැහැ රසායනිකයක වර්ණය පෙන්වීමට අවශ්‍ය විය. එහිදී ඔහු පන්තිය පුරා නෙත් යොමා අනතුරුව මෙසේ කීය. " ගෑණු ලමයි ලබන සතියෙ එන කොට රතුපාට ඇඳුමක් ඇඳන් එන්න. එතකොට මම නැගිට්ටලා පෙන්නන්නම් " යනුවෙනි. පුදුමයකි. ඇගේ ටී ෂර්ටයද රතු පැහැතිය.


"අද වැඩේ හරි. අද මෙයාට නැගිටලා තමා ඉන්න වෙන්නෙ."



ඈ පුදුමයෙන් මා දෙස බැළුවාය. දිගටම ඇයට විහිළු කිරීමට පොටක් පාදාගත් මම ඇයව හොඳටම බය කරෙමි. ඇය පසු දවසක පැවසුවේ මං එදා හොඳටම බය උනා ඉසුරු. වැරදිලා හරි එහෙම කරානම් ...

විහිළුවක් ගිය දුර ..

ඉන් අනතුරුව සෑම දිනකම ඈ හා මා අතර මුණගැසීම නොකඩවා සිදු විය. ඈ පාසල් යන්නේ තාත්තා සමගින් මෝටර් සයිකලයේය. ඈ අපේ ගෙදර අසලින් යනු මා මිදුලට වී බලා සිටිමි. මං දත් මදින්නේ ඈ පාසල් යන වෙලාවටය. 10ට නැවත ගෙදර එමි. එහෙත් ඒ සියල්ල වෙනස් විය. මාත් උදේ පාන්දරින්ම ඉස්කෝලෙ යන්නට පුරුදු විය. ඈ පාසල ඇරී එනතුරු බලා සිටිමි.

"ඉසුරු දවසක අපේ ගෙදර එන්න ..."

"මට බෑ ...."

"අනේ ..."

"එහෙම එන්න පුලුවන්ද ? "

"එහෙනම් අවුරුද්දට එන්න .."

" හ් ම් ම් ම් ......"



ඈ අමනාප කර ගැනීමට ඇති අකමැත්ත නිසා හෝ ඇයගෙ දැඩි පෙරෙත්තය නිසා ඇගේ ඉල්ලීම බාර ගැනීමට මට සිදුවිය.


දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින් ගසන්නට විය.

" ආපහු යමන් බං "


" පිස්සුද මම එයාට පොරොන්දු උනා අද එනව කියල "


" යකෝ අපෙ අම්මල දැන ගනියි "


" උඹ කියපන් මගෙ වැඩකට ආව කියල. "

එවිටම ඇගේ මල්ලි " ආ අයියෙ එන්න එන්න " යැයි ගෙයි දොරකඩ සිටම කෑ ගැසුවේය.

" උඹ මුලින් පලයන් මම පස්සෙ එන්නම් " ඒ මිතුරාගේ හඬය.

මා නිවසේ ගේට්ටුව ඇර ආපසු හැරී බලන කල දෙවියන් සිහි විය. මගේ මිතුරා බයිසිකලයත් රැගෙන පලා ගොස්ය.

" පුතේ එන්න ගෙට "

" තව මොනවහරි කන්න "

" මෙයා හැමදාම කියවන්නෙ ඔයා ගැනමයි "

" මම ගිහින් එන්නම් ඇන්ටි "

" ආයෙත් දවසක ඇවිත් යන්නකෝ ..... "

ඇයත් මාත් මෙලෙස එකිනෙකාට හොරෙන් ආදරය කලෙමු. දිනක් මා ඇයට කෙටි පණිවිඩයක් යැව්වෙමි. එය සිංදුවකි.

" සිනාසෙන්න මට අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි .... "

" මට ආදරය කරන්නෙපා ...."

" ඇයි ඔයා කටහරි ආදරෙයිද ? "

" ඇත්ත ඉසුරු මම එයාට ආදරෙයි. මම ඔයාව පැතුවෙ යාළුවෙක් වෙන්න විතරයි. ආදරයයි යාළුකමයි කියන්නෙ දෙකක් .."

අපි අද අළුත්ගම පාරෙන් යමු. යෝජනාව ඇගෙනි. කොහෙන් ගියත් යන්නේ ගෙදරනෙ. ඇය කියන දෙයට එකඟ වීමට මට සිදුවේ. පලමු වරට මා ඈ හා එකට වාඩි වී පැමිණියේ එදාය.

" මේ මොකෝ මේ .. "


" ඇයි ? "


" කෝ ඔයාගෙ අත පෙන්නන්න "


ඇය ඇගේ දකුණු අත මාගේ ඔඩොක්කුවෙන් තබයි

" අයියෝ .. පොඩි ලමයෙක් වගේ හැම තැනම පෑන් ඉරි "

" ඉන්න මම මකන්නම් " මගෙන් පොඩි කට්ට කමකි

ඇගේ අතේ පෑන් ඉරි මකන්න ගියද සිදුවූයේ අනිකකි. කවුරු මුලින් කරාදැයි මතක නැත. අපේ දෑත් එකට පැටලිනි.

" මම ඔයාට ආදරෙයි ...." හඬ මාගේය.

පිලිතුරක් නැත. ඈ ගැන මගේ සිතේ තිබුන බලාපොරොත්තු සේරම ඈ ඉදිරියේ දිග හැරීය.

" ඔයා කියන්නෙ මගෙ මුලු ලෝකෙම . ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි ...."

" නෑ ඉසුරු මම ඔයාට කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මම හැමදාම ඔයා ගැන බලනවා. "

අත ගන්න බහින්න පරක්කු වෙනවා. ඇයටනම් ගානක් වත් නැති හැඩයි. විභාගයට තව මාසයක්වත් නැත. ඕ ලෙවල් කරන කාලයේ ගනන් සර් කියන ලද කවියක් මතක් වෙයි.

" විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
ඌ .... "

" ඔයා මට ආදරේ නේද ? "

" හ් ම් ම් ම් ... "


" කොච්චරක් .."

" මෙච්චරයි " ඈ මැද ඇඟිල්ලට මහපට ඇඟිල්ල තබා සුළු ප්‍රමානයක් පෙන්වයි

" අනේ තව ටිකක්...."

" බෑ ඈ ඈ ....."

" හ් ම්ම් කමක් නෑ මට ජීවත් වෙන්න මේත් ඇති ..."


Bookmark and Share

ආදර්ශවත් තරුණයා



පහුගිය දවසක මිදුලට වී උන් මාහට දක්නට ලැබුනේ අධික වේගයෙන් දැවනය වූ මෝටර් සයිකලයකි. පදවාගෙන ගියේ තරුණයෙකි. අපේ පාරෙනම් ඉතින් මේ තරම් වේගයෙන් ගියොත් ඉන්න වෙන්නේ අහල පහල වෙලකය. ඔහුට ඒ බවක් ගානක්වත් නැත. නමුත් නැවත මාහට දක්නට ලැබුනේ ඔහු සිය බයිසිකලය හරවාගෙන නැවත සෙමෙන් පාර පිරික්සමින් එන අයුරුය. ගිය වේගයට ඔහුගේ බයිසිකලයේ තිබූ යමක් වැටෙන්නට ඇත. මටත් නිකන් ඉන්න බැරි කමට පාරට ගියවිට දුටුවේ ඔහු අසල ඇති ඇලට බැස කුමක්දෝ කරන බවය. ලං වී බලන කළ ඔහු අත සිටියේ කොරවක්කෙකි.


ඔහු සිටියේ කොරවක්කාට වතුර පොවමින්ය. ඔහු අසලට පිවිසි මට ඔහු පැවසූයේ " බයික් එකේ වැදුන මල්ලී " යනුවෙන්ය. අනතුරුව ඔහු විසින්ම කොරවක්කා දෙපයින් සිටවා උගේ පියාපත් පිරිමැද නැවතත් පොල්කට්ටක් රැගෙන ඌට බීමට වතුර දෙන ලදි. ටික වේලාවක් එසේ සිටි එම සතා නැවත තම දෙපයින් උගේ වාසස්ථානය කරා ඇදී ගියේය. ඔහු දුටුවිට මට මතක් වූයේ වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත යනුවෙන් චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන ලද ගීතයයි.




මින් පෙර අප ජීවත් වූයේ ගාළු පාරට ඉතා සමීපව පිහිටි නිවසකය. එහිදී නිරන්තරයෙන්ම රිය අනතුරු සිදුවනු දැක තිබේ. නමුත් ඒ වාහන මහමග මිනිසුන් මැරී යද්දීත් තම වාහනය නොනවත්වා ධාවනය කර තිබෙනු මාදැක ඇත. ඔවුන්ට මිනිස් ජීවිතයක් ගැන දූවිල්ලකවත් ගානක් නැත. එවැන්නන්ට මේ තරුණයා දුන්නේ මහඟු ආදර්ශයක් නොවෙද ? ඔහු තම වටිනා ඇඳුමද විනාශ කරගෙන වතුරට පැන එම සතාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කල අන්දම සැබැවින්ම ප්‍රශංසනීයයි. අනෙක් පුද්ගලයන්ට හෙන ගැහුවත් කමක් නැත යනුවෙන් සිතා ආත්මාර්ථයෙන් රිය පදවන බොහෝ රියදුරන් මා දැක ඇත. සැබැවින්ම ඒ තරුණයානම් අනෙක් සියළු රියදුරන්ට ආදර්ශයකි. මේ බ්ලොග් සටහන ඔහුට උපහාරයක් වශයෙනි.

Bookmark and Share

කටු සටහන නම් වූ මාගේ නවතම බ්ලොග් සටහන වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මා බ්ලොග් කලාවට නවකයෙක්ද නොවෙමි. ප්‍රවීනයෙක්ද නොවෙමි. එය තීරණය කිරීම ඔබට භාරය.

මෙයට කටුසටහන යැයි නම තැබුවේ
හේතු කාරණා කිහිපයක් නිසාය. මා හට ව්‍යාකරණ නීති රීති පිළිබඳ කිසිදු දැනුවත් කමක් නොමැති කම පළමු හේතුවයි. සාමාන්‍ය පෙළටනම් සිංහල භාෂාව A සඳහා සාමාර්ථයක් තිබුනා යැයි යන්තමට වාගේ මතකය. කටු සටහන් වලදී ඕවා උවමනා නැත. යන්තමින් කියවා ගන්න පුළුවන් උනොත් එය ප්‍රමාණවත්ය.එමෙන්ම මට ලස්සනට වචන ගලපා ලිවීමේ හැකියාවක්ද නැත. ඔයාලට එක දිගට කියවගෙන යන්න ආසත් නැතිව ඇති මම හිතන්නේ.

මෙම නව බ්ලොග් එක සෑදීමේදී මාහට නොයෙක් අයුරින් උදව් කල මාගෙ මිතුරු මිතුරියන්වද , සෑමවිටම මගේ බ්ලොග් සටහන් කියවා මා දිරිමත් කල සැමටද මේ බ්ලොග් සටහන උපහාරයක් වේවා.
එසේම මෙම බ්ලොග් එකෙහි ඡායාරූප සංස්කරනය කරදුන් එලකිරි ඩොට් කොම් එකෙහි Jacksparow සහෝදරයාවද මෙහිදී අමතක කල නොහැක

හැකි සෑම විටම මාගෙ බ්ලොග් සටහන වෙත ඇවිත් යන්න. අදහස් පවසා යන්න. ඔබේ අදහස් වලින් මා ලද දිරිය අපමණය.

Bookmark and Share
Related Posts with Thumbnails